ආසියානු ශාන්තිකර කලාපීය තරගයට සම්බන්ධ වී පදක්කම් ජයග්‍රහණය කිරීමට හැකිවීම ඓතිහාසික ජයග්‍රහණයක් මෙන්ම රටට ආඩම්බරයක් බවත්, ආබාධ තත්ත්වය හේතුවෙන් අඳුරු වෙන්න තිබුණු ජීවිත අද ඔවුන් රන් පදක්කම්වලින් සරසගෙන තිබෙන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.පැරා ක්‍රීඩකයන් අනෙකුත් ක්‍රීඩකයන් මෙන්ම දක්ෂ ක්‍රීඩකයන් බවත්, ඉමහත් ජවයක් හා ශක්තියක් තිබෙන ඔවුන් වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
ඩුබායිහි පැවැති ආසියානු ශාන්තිකර කලාපීය ආබාධිතවූවන්ගේ පැරා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවී පදක්කම් ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (14දා) දිවයිනට පැමිණි අතර, එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සඳහා අද (15දා) ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති උත්සවයකදී හෙතෙම මෙම අදහස් පළ කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා,
"මම බලාපොරොත්තු වෙනවා මේ සියලු අය ලබන සැප්තැම්බර් මාසය වෙනකම් සංචිත ගත කරලා, සම්පූර්ණ ශක්තිය දීලා පැරාලිම්පික් ක්‍රීඩා උලෙළට සම්බන්ධ කරන්න. එහි පදක්කම් ජයග්‍රහණය කරන්න පුළුවන් තැනට මේ අයව ගෙනයන්න බලාපොරොත්තු වෙනවා. මේ අයත් (පැරා ක්‍රීඩකයෝ) අපේ අනෙකුත් ක්‍රීඩකයන් වගේම දක්ෂයන්. ඉදිරියට ගිහින් ක්‍රීඩා කරන්න ලොකු හයියක්, ශක්තියක් තිබෙනවා. ඒ සඳහා අපට ලබාදෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි ලබාදෙනවා.
වසර ගණනාවකට සිට පැරා තරග සඳහා සහභාගි වෙන්නේ යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත්වුණු සෙබළුන් විතරයි. නමුත් දැන් යුද්ධය අවසන් වෙලා. අපට තිබෙන ප්‍රධානම ප්රශ්නය ස්වාභාවිකව ආබාධයන්ට ලක්වුණ අය ඉන් ඉදිරියට අලුතෙන් හොයාගැනීම. එමනිසා අපි බලාපොරොත්තුවෙනවා සමාජ සුබ සාධන අමාත්‍ය එස්.බී. දිසානායක අමාත්‍යතුමා එක්ක සාකච්ඡා කරලා පළාත් මට්මින් දක්ෂ ක්‍රීඩකයන් හඳුනාගන්නා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. දිස්ත්‍රික් හා පළාත් තරග පවත්වලා ඉන් ක්‍රීඩකයන් තෝරගෙන ජාතික සංචිතය පිහිටුවීමේ වැඩපිළිවෙළක් ස්ථාපිත කරනවා" යැයි පවසා සිටියේය.
ඩුබායිහි පැවැති ආසියානු ශාන්තිකර කලාපීය ආබාධිතවූවන්ගේ පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 06 ක්, රිදී පදක්කම් 04 ක් හා ලෝකඩ පදක්කම් 05 ක් සමගින් සමස්ත පදක්කම් 15 ක් දිනාගැනීමට සමත් වූහ.
රටවල් 30 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට සහභාගි වූ අතර, එහිදී පදක්කම් සටහනේ 06 වැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. එහිදී අනිල් ප්‍රසන්න ජයලත්, අජිත් හෙට්ටිආරච්චි සහ අමරා ඉන්දුමතී රන් පදක්කම් දිනාගත්හ. ඔවුන් තිදෙනාම මේ වනවිටත් රියෝ පැරලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබා සිටිති.
මෙහිදී අනිල් ප්‍රසන්න (ටී 42/දණහිසට ඉහළින් පාදය ඉවත්කළ) මී. 200, මී. 100 හා දුර පැනීම ඉසව් නියෝජනය කරමින් රන් පදක්කම් 03 ක් දිනාගැනීමට සමත්විය. එහි මී. 200 ඉසව්ව අවසන් කිරීම සඳහා අනිල් ගතකල කාලය ආසියානු තරග වාර්තාවක් විය.
ඔහුට අතරම අජිත් හෙට්ටිආරච්චි (ටී 44/ දණහිසෙන් පහළ ඉවත්කළ) මී. 100 (රන්), මී. 200 (ලෝකඩ) හා මී. 400 (රිදී), අමරා ඉන්දුමතී (ටී. 47/ අත්දෙකම අහිමි හෝ එක් අතක් අහිමි) මී. 400 කාන්තා (රන්), මී. 200 (රන්), දුර පැනීම (රිදී) හා බුද්ධික ඉන්ද්‍රපාල (ටී 42/ දණහිසට ඉහළින් පාදය ඉවත්කළ) මී. 100 , මී.200 හා දුරපැනීම (ඉසව් සියල්ලම ලෝකඩ) යන අය පදක්කම් ජයග්‍රහණය කළහ.
මෙහිදී අනිල් ප්‍රසන්න, අජිත් හෙට්ටිආරච්චි, බුද්ධික ඉන්ද්‍රපාල සහ කමල් පතිරත්න නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මී. 100x4 සහය දිවීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සමත් වූහ. සමස්ත තරගාවලියේ ඉරානය, චීනය හා ඉන්දියාව පිළිවෙළින් පළමු, දෙවැනි හා තෙවැනි ස්ථාන දිනාගත්තේය.