රාජකීයන්ට උරුම වූ, රාජකීයන් මෙරටට හඳුන්වා දුන් ගොල්ෆ් ක්‍රීඩාවේ සමාජභාවී රේඛාව බිඳිමින් ශූරතා අනුශූරතා රැසක් දිනාගැනීමට සමත් වූ ක්‍රීඩිකාවකි ශ්‍රී ජයවර්ධනපුර බාලිකාවේ ටානියා බාලසූරිය. උත්සාහය, කැපවීම හා අධිෂ්ඨානය මුසු ඇගේ චිත්ත ශක්තිය ඇය අධ්‍යාපනයෙන් සේම ක්‍රීඩාවෙන්ද ඉහළට ගෙනයාමට සමත්වී ඇත. කෙළිබිමෙන් තරුවක් විශේෂාංගය තුළින් අප ඇය හා කළ සාකච්ඡාවේදී ඇය 'අද' ට පැවසුවේ මෙසේය.
ගොල්ෆ් ක්‍රීඩිකාවක ලෙස ක්‍රීඩා ක්ෂේත්රයට අවතීර්ණවීම පිළිබඳ මතක් කළොත්?
මම ගොල්ෆ් ක්‍රීඩාව පුරුදු පුහුණුවෙන්නේ වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළයි. මම මුලින්ම පාසලේදී ක්‍රිකට්, බැඩ්මින්ටන්, පිහිනුම් වැනි නොයෙක් ක්‍රීඩා කළා. අපේ තාත්තා මුල් කාලයේ ගොල්ෆ් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ නිසා මටත් ආසාවක් ඇති වුණා ගොල්ෆ් ක්‍රීඩාව කරන්න.
අධ්‍යාපනය සහ ක්‍රීඩාව සමබරව සිදුකිරීමට ඔබට පවුලෙන් සහ පාසලෙන් ලැබෙන සහයෝගය?
අපේ ගෙවල් රාජගිරියේ තියෙන්නේ. මට අම්මයි තාත්තයි සහෝදරියකුයි සිටිනවා. මගේ සහෝදරියත් මම වගේම ගොල්ෆ් ක්‍රීඩා කරනවා. මගේ පවුලෙන් වගේම පාසලෙනුත් මට අවශ්‍ය සහයෝගය ලබාදෙනවා. ක්‍රීඩා පුහුණුවීම්වලට වගේම තරගාවලි සහභාගීවීමටත් අවශ්‍ය සියලු නිදහස මට පාසලෙන් ලබාදී තිබෙනවා.
ඒ තුළින් ඔබ ලබාගත් ජයග්‍රහණ මොනවාද?
මම ගොල්ෆ් ක්‍රීඩාවට මුලින්ම අවතීර්ණ වූයේ 2013 වර්ෂයේ දී. ඒ අතරතුර කාලය තුළ මට ජාතික, අන්තර්ජාතික ජයග්‍රහණ රාශියක් හිමි කරගැනීමට හැකියාව ලැබුණා. ඒ අනුව 2014 වර්ෂයේදී පැවැති ශ්‍රී ලංකා කනිෂ්ඨ විවෘත තරගාවලියේ අනුශූරතාවද, ස්කැන්වෙල් ලොජිස්ටික් කනිෂ්ඨ විවෘත තරගාවලියේ ශූරතාවද, ඉන්දියාවේ පැවැති හීරෝ ඇල්බට්රූස් කනිෂ්ඨ විවෘත තරගාවලියේ තුන්වැනි ස්ථානයද, ශ්රීසොෆ් කනිෂ්ඨ විවෘත තරගාවලියේ තුන්වැනි ස්ථානයද දිනාගැනීමට මට හැකියාව ලැබුණා.
ඒ වගේම 2015 වර්ෂයේදී නුවර දිස්ත්‍රික් ගොල්ෆ් කනිෂ්ඨ තරගාවලියේ ශූරතාවද, පී.ඩබ්.එම්.ජූනියර් මාස්ටර් ගොල්ෆ් තරගාවලියේ ශූරතාවද, ශ්‍රී සාෆ් කනිෂ්ඨ විවෘත තරගාවලියේ ශූරතාවද, ස්කැන්වෙල් ලොජිස්ටික් කනිෂ්ඨ විවෘත තරගාවලියේ ශූරතාවද, ශ්‍රී ලංකා ලෙඩිස් ස්ට්‍රෝක් ප්ලේ අනුශූරතාවද, ශ්‍රී ලංකා කකිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ ශූරතාවද, වී.ජී.සී.ආර්. කනිෂ්ඨ විවෘත තරගාවලියේ අනුශූරතාවද හිමිකර ගැනීමට මට හැකිවූවා.
2016 වර්ෂයේදී නුවර එළිය ගොල්ෆ් කනිෂ්ඨ විවෘත තරගාවලියේ අනුශූරතාවද, පින් ෆ්‍රනැන්ඩෝ කුසලාන තරගාවලියේ අනුශූරතාවද, ෆෙෂ්ටොන් ජුනියර් මාස්ටර් ගොල්ෆ් ශූරතාවද, ශ්‍රී ලංකා ගොල්ෆ් කනිෂ්ඨ විවෘත තරගාවලිය අනුශූරතාව ආදී වශයෙන් ශූරතා 10 ක් හා අනුශූරතා 13 ක් මම ජයග්‍රහණය කර තිබෙනවා.
ජයග්‍රහණ තුළින් ඔබ ක්‍රීඩා ජීවිතයේ ලබාගත් අභියෝග ගැන කතා කළොත්?
ගොල්ෆ් වගේ ක්‍රීඩාවක් බොහෝ අයට ආගන්තුක ක්‍රීඩාවක්. ඒ වගේම ශ්‍රී ලංකාව වගේ රටක මෙම ක්‍රීඩාව සිදු කරන්නේ ඉතාම අල්ප වශයෙන්. විශේෂයෙන්ම මෙහි තරගාවලි තිබෙන කොට ගැහැණු / පිරිමි වශයෙන් කාණ්ඩ බෙදීමක් සිදුවන්නේ නැහැ. එම නිසා මට ජයග්‍රහණය කිරීමට සිදුවන්නේ මිශ්‍ර තරගාවලි වලට සහභාගිවී යම් වයස් සීමාවකින් තොරව පැවැත්වෙන විවෘත තරගාවලි වලට සහභාගි වීමෙන්ය.
මෙම වර්ෂයේ පැවැති ශ්‍රී ලංකා ගොල්ෆ් කනිෂ්ඨ තරගාවලියේ තෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් වූයේ පිරිමි ළමුන් දෙදෙනෙක් හා තරග කිරීමෙන් පසුවයි. එය මට ජයගැනීම සඳහා අභියෝගයක් වුවත් මම ඒ සියල්ලෙන්ම ජයග්‍රහණය කර තිබෙනවා.
කාන්තා හා පිරිමි ජාතික ශූරතාවලියේ තෙවැනි ස්ථානය දිනාගැනීම ඔබ ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණයක්. ඒ ගැන මතක් කළොත්?
ලංකාවේ ගොල්ෆ් තරග බහුල වශයෙන් පවතින්නේ මිශ්‍ර තරගාවලි හෝ විවෘත වයස් තරගාවලි වශයෙනුයි. ඒ නිසා තරග ජයග්‍රහණය කිරීම විශාල අභියෝගයක්. නමුත් පුහුණුවීම් හා උත්සාහය, කැපවීම නිසා මට එය පිරිමි ළමුන් දෙදෙනෙකු පරාජය කරමින් ජයග්‍රහණය කිරීමට හැකි වුණා. ඒ නිසා මිශ්‍ර තරගාවලි තුළ වුවත් ආත්ම විශ්වාසය හා අධිෂ්ඨානය තුළින් ද ජයග්‍රහණය කළ හැකියි.
විශේෂයෙන්ම ලංකාව වගේ රටක කාන්තාවන් ගොල්ෆ් වලට යොමුවීම ඉතාම අඩු වශයෙන් සිදුවන්නක්. ඒ තුළ ඔබ ගොල්ෆ් ක්‍රීඩාව ගැන මොකද හිතන්නේ?
ලංකාව තුළ ගොල්ෆ් ක්‍රීඩාව කරන අය වගේම ගොල්ෆ් ක්රීඩාපිටිද ඉතා සීමිතව තමයි තියෙන්නේ. එම නිසා විදේශිකයන් ක්‍රීඩා කළත් දේශීය වශයෙන් ගොල්ෆ් ක්‍රීඩාව සිදු කරන්නේ ඉතාම අඩුවෙන්. ඒකෙනුත් කාන්තාවන්, පාසල් ගැහැනු ළමුන් ඉතාම අල්ප වශයෙන් තමයි ගෝල්ෆ් වලට යොමුවන්නේ. නමුත් ගොල්ෆ් ද අනෙකුත් ක්‍රීඩාවන් මෙන්ම වැදගත්, ආකර්ෂණීය ක්‍රීඩාවක් නිසා ඒ පිළිබඳ ලංකාව තුළ විධිමත් හැඳින්වීමක් සිදු කළ යුතුයි. එවිට ඒ පිළිබඳ ඇති අවධානය හා උනන්දුව වැඩි වෙනවා.
ඔබගේ පුහුණුවීම් පිළිබඳ මතක් කළොත්?
මම පාසල් කටයුතු නිසා වී සෑම දිනකම කොළඹ රාජකීය ගොල්ෆ් පිටියට ක්‍රීඩා කිරීමට පැමිණෙනවා. මම දිනපතාම පුහුණුවීම් කටයුතු කරන අතර, ශාරීරික සමබරතාව රැකගැනීමට සෑම සවස් දිනකම නිවසේදී දෛනිකව ව්‍යායාම් සිදුකරනවා. මගේ පුහුණුකරුවන ජෙහාන් මහතා මෙම තත්ත්වයට කෙටි කාලයක් තුළ පැමිණීමට හා විශාල සහයෝගයක් ලබාදුන්නා.
ඔබට නිරන්තර සහයෝගය ලබාදෙන අය පිළිබඳ මතක් කළොත්?
මූලික වශයෙන් ගොල්ෆ් ක්‍රීඩාවෙන් මට මේ තරම් දුරක් පැමිණීමට හැකි වූයේ මගේ තාත්තාගේ කැපකිරීම නිසයි. ඒ වගේම කොළඹ රෝයල් ගෝල්ෆ් සංගමයේ සියලුදෙනාටම ස්තුතිවන්ත වෙන්න ඕන. මගේ ගොල්ෆ් කට්ටලය මිලදී ගැනීම සඳහා ඒ අය තමයි උදවු කරන්නේ. රෝයල් ගොල්ෆ් ක්ලීන් එකේ රාධා මහත්මිය සහ මගේ පුහුණුකරු වන ජෙහාන් මහතා මේ සඳහා විශාල පරිශ්‍රමයක් දැරුවා.
ඒ වගේම මේ වසරේ (2017) සිට සොෆ්ට් ලොජික් ආයතනය මට ගොල්ෆ් ක්‍රීඩාව සඳහා අවශ්‍ය සියුල අවශ්‍යතා ඉටු කරගැනීමට අනුග්‍රහය දක්වා තිබෙනවා. ඔවුන්ද ස්තුති පූර්වකව සිහි කළ යුතුයි. ඊට අමතරව ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයද ස්තුති පුර්වකව සිහිකළ යුතුයි.
ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?
මම ගොල්ෆ් වලින් මගේ උපරිම දක්ෂතා පෙන්වීමට අනාගතයේදී බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩාව තුළින් තව තවත් දක්ෂතා පෙන්වා අන්තර්ජාතික ගොල්ෆ් තරගාවලියට සහභාගිවීමට මම මගේ උපරිමයෙන් කටයුතු කරනවා. ඒ වගේම ක්‍රීඩාව වගේම අධ්‍යාපන කටයුතුද සාර්ථක කරගනිමින් ඉදිරියට යෑමයි මගේ ප්‍රධාන අපේක්ෂාව.
ගොල්ෆ් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න අවෂ්‍ය සෑම දෙයක්ම ඉටුකරනවා
අසිත රොෂාන් බාලසූරිය (ටානියාගේ පියා)
“මගේ දුව ජාතික මෙන්ම අන්තර්ජාතික වශයෙන් ලබාගත් ජයග්‍රහණ ගැන මම ගොඩාක් සතුටු වෙනවා. අපි රාජගිරියේ සිට සෑම දිනකම රාජකීය ගොල්ෆ් පිට්ටනියට පුහුණුවීම් සඳහා පැමිණෙනවා. මගේ දුව දක්ෂතා දක්වන්නේ ගොල්ෆ් වලින් නිසා මම ඇයට ඒ ක්ෂේත්රයෙන් ඉදිරියට යෑමට අවශ්‍ය සෑම දෙයක්ම ඉටු කරනවා."
අපට මේ අවුරුද්දේ (2017) සොෆ්ට් ලොජික් ආයතනය අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වෙලා තියෙනවා. එය අපට ලොකු උපකාරයක්. මූල්‍යමය ගැටලු මගහරවා ගනිමින් ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වෙන්න මගේ දුවට එය මහඟු පිටුවහලක් වෙනවා. ගොල්ෆ් ක්‍රීඩාවේ අපි වගේ සාමාන්‍ය අයට දිගටම කිරීමට අපහසුයි. නමුත් දුවගේ දක්ෂතා දැකලා ගොල්ෆ් ක්‍රීඩාවට ඇලුම් කරන බොහෝ පිරිස් අපට උදවු කරනවා.
ෂෙහානි දිල්රුක්ෂිකා
ඡායාරූප - ඉසුරු පෙරේරා