අවසන් වරට මෙරට සංචාරය කළ පාකිස්තානු කණ්ඩායම හමුවේ ලද තරගාවලි පරාජයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම අද (12දා) සංචාරක ඉන්දීය ටෙස්ට් කණ්ඩායම සමගින් ගාල්ලේදී තරග බිමට පිවිසේ.
පාකිස්තානය සමග පැවැති තරගාවලිය සම්පූර්ණ තරගාවලි පරාජයක් ලෙසින් අවසන් වුවද, මෙරට තරුණ ක්‍රීඩකයන් ඉදිරිපත් කළ දක්ෂතා අගය කළ යුතුය. එම තරුණ ක්‍රීඩකයන්ට තව තවත් අවස්ථාව හිමිවුවහොත් ඔවුහු හොඳ ක්‍රීඩකයන් බවට පරිවර්තනය වන ලකුණු ලද අවස්ථාවෙන්ම ඉදිරිපත් කළහ. එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට සුබ පෙර නිමිත්තකි.
එබැවින් අවශ්‍යව ඇත්තේ තරුණ ක්‍රීඩකයන් නිසි කළමනාකරණයකට යටත් කොට අත්දැකීම් ලබාදෙමින් ඔවුන් කෙරෙහි විශ්වාසය ගොඩනගා ගැනීමට අවස්ථාව සලසාදීමය. එසේ වුවහොත් පරාජයන්ට වඩා වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කර ගත හැකි බව අපි විශ්වාස කරමු. එහෙයින් ඉවසීමෙන් යුතුව තරුණ ක්‍රීඩකයන් දෙස බලාහිඳිමින් ඔවුන් දිරිගැන්වීමට කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීමකි. ඉන් පසුව තරග ජයග්‍රහණය කළ හැකිය.
සටනකට මුල පුරමින් ප්‍රතිවාදීන් ආක්‍රමණය කිරීමට සූදානමින් සිටින කණ්ඩායම දෙකම තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම වසර 15ට පමණ පසුව තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේද පළමු වතාවටය. ඒ අනුව කණ්ඩායම් දෙකම මේ මොහොත වනවිට සංක්‍රාන්ති සමයක් පසු කරමින් සිටියි. එහෙත් තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත වුවද මේ අවස්ථාව වනවිට ඉන්දීය කණ්ඩායම සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ඉදිරියෙනි. එහෙයින් මෙම තරගාවලියද ශ්‍රී ලංකා කණ්ඩායමට අපහසු තරගාවලියක පෙරනිමිති පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් අවශ්‍යව ඇත්තේ එයට හොඳින් මුහුණ දෙමින් ඉන් ගොඩ ඒමට උත්සාහ කිරීමය.
පාකිස්තානු ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයට ක්‍රීඩා නොකළ කුමාර් සංගක්කාර නැවතත් කණ්ඩායම සමගින් එක්ව සිටීම ශ්‍රී ලංකාවේ ශක්තිය වැඩි කිරීමට හේතුවකි. එමෙන්ම සංගක්කාර වැනි ක්‍රීඩකයෙකුගේ අත්දැකීම් තරුණ ක්‍රීඩකයන්ට ඉතා වැදගත්ය. ඔහු තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයෙන් සමුගැනීමට සූදානමින් සිටින බැවින් ඔහුගෙන් ගත හැකි උපරිමය ගැනීමට තරුණ ක්‍රීඩකයන් මේ මොහොතේ උත්සාහ කළ යුතුය. එපමණක්ද නොව මෙය සංගක්කාර සිය රට වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් ජාත්‍යන්තර තරගාවලිය බැවින් ඔහුට සොඳුරු සමුගැනීමක් ලබාදීමටද කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් උත්සාහ කළ යුතුය. ඒ වසර 15ට ආසන්න කාලයක් මෙරට ක්‍රිකට් ක්‍රීඩා වෙනුවෙන් ලබාදුන් අමිල දායකත්වයට ලබාදිය හැකි ඉහළම ගෞරවය ද එය වන බැවිනි.
සංගක්කාර අද තරගයේදීද සිය සුපුරුදු ස්ථානයේ පන්දුවට පහර දෙන බැවින් තිරිමාන්න සහ උපුල් අතරින් අංක හතර ස්ථානයේ පන්දුවට පහරදීම සඳහා කෙනෙකු තෝරා ගැනීමට මැතිව්ස්ට සිදුවේ. තරගාවලියේ පැවැති එකම පුහුණු තරගයේ දී උපුල් තරංග අංක හතර ස්ථානයේ ක්‍රීඩා කරමින් දෙවැනි ඉනිමේදී අර්ධ ශතකයක් වාර්තා කළ බැවින් ඔහුට පිතිකරණ ලැයිස්තුවේ අංක හතර ස්ථානය හිමිවීමට වැඩි අවස්ථාවක් ඇත.
කෙසේ වෙතත් පාකිස්තානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී උපුල් තරංග අංක තුන ස්ථානයේ හොඳින් ක්‍රීඩා කළ බැවින් සංගක්කාරගේ සමුගැනීමෙන් පසුව අංක තුන ස්ථානයට මේ මොහොත වනවිට සිටින අත්දැකීම් සහිත සුදුසුම ක්‍රීඩකයා ඔහු බැවින් ඔහුව ඒ සඳහා ආරක්ෂා කරගැනීම කණ්ඩායම් නායකයා, පුහුණුකරු සහ සෙසු වගකිව යුත්තන්ගේ වගකීමකි. තවද අංක හතර ස්ථානය සඳහා දිනේෂ් චන්දිමාල්ද යොදාගත හැකිය. ඔහු ඒ සඳහා සුදුසුම පිතිකරුවෙකු බව ඔහුට ලැබුණු අවස්ථාවලදී තහවුරු කිරීමට සමත්වුවද චන්දිමාල්ට ඒ සඳහා අවස්ථාවක් ලබානොදීම විශ්වාස කළ නොහැකි තත්ත්වයකි.
ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරුවන් හත් දෙනෙකු සහ පන්දු යවන්නන් සිවු දෙනෙකු සමගින් අද තරගයට ප්‍රවිෂ්ටවීමට වැඩි අවස්ථාවක් ඇත. නිත්‍ය දඟ පන්දු යවන්නා ලෙස රංග හේරත් සමගින් ධම්මික ප්‍රසාද් සහ නුවන් ප්‍රදීප් අද තරගයට එක්වනු ඇතැයි අපගේ විශ්වාසයයි. ඒ අනුව හේරත්ගේ සහායක දඟ පන්දු යවන්නාවීමට තරිඳු කෞෂාල් සහ ඩිල්රුවන් පෙරේරා අතරද තරගයක් නිර්මාණය වී ඇත.
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම නායකයෙකු වන මහේන්ද්‍ර සිං දෝනි සහ ඔහුගේ කණ්ඩායම පසුගිය කාලවකවානුවේ යම් පසුබෑමකට ලක්වූ බැවින් ජාත්‍යන්තර තරග බිමේ ඉන්දියානු ආක්‍රමණය දියත් කිරීමේ පළමු පියවර තැබීමට ඉන්දීය කණ්ඩායම අද පිටියට පිවිසෙන්නේ නව නායක විරාට් කෝලි යටතේය. එය ඔහුට යම් ප්‍රමාණයක පීඩනයක් ඇති කරවන කාරණයක් මෙන්ම, දෝනි නොමැති බැවින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එය මානසිකව යම් වාසිදායක තත්ත්වයකි. මන්ද දෝනි ශ්‍රී ලංකා කණ්ඩායමට පමණක් නොව, සෑම කණ්ඩායමකටම ඔහුගේ ක්‍රීඩා දිවිය තුළ පීඩනයක් ඇති කළ සාධකයකි.
කෙසේ වෙතත් පීඩනයක් යටතේ ක්‍රීඩා කරමින් සාර්ථකවීමට විරාට් කෝලි සතු හැකියාවද ඉහළය. එය කෝලිට ධන ලකුණකි. එහෙත් ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස ලද මෙම අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට කෝලි බලා සිටින බැවින් එයද ඔහුට යම් පීඩනයක් ඇති කරනු ලබයි.
පසුගිය අවුරුද්ද මුළුල්ලේ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ලකුණු අතර සිටින පිතිකරුවා වන මුරලි විජේ ආබාධයක් හේතුවෙන් අද තරගයට ක්‍රීඩා නොකරන බැවින් ඔහුගේ ස්ථානයට ලෝකේෂ් රාහුල් කැඳවනු ලැබීය. රාහුල් ආරම්භක පිතිකරුවා ලෙසින් කටයුතු කරන්නේද නැද්ද යන්න ඊයේ (11දා) සන්ධ්‍යාව වනවිටත් තීරණය වී නොතිබුණි.
ඔහු අද තරගයට ක්‍රීඩා කරන්නේ නම් රාහුල් පන්දුවට පහර දෙන ස්ථානය තීරණය වනු ඇත. ඒ අජන්කේ රහානේද කණ්ඩායම තුළ සිටින බැවිනි. රාහුල්ට සාපේක්ෂව ඇත්දැකීම් ඇති පිතිකරුවෙකු ලෙස රහානේ ආරම්භක පිතිකරුවෙකු ලෙසින් යොදාගත හැකි බැවින් ඔහු ගැන අවධානය යොමු වුවද පසුපෙළ ශක්තිමත් කිරීමටද රහානේ යොදා ගැනීමට වැඩි අවස්ථාවක් ඇත.
ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීමට කඩුලු 20 ක් ලබාගත යුතුව ඇති බැවින් පන්දු යවන්නන් පස් දෙනෙකු යොදා ගැනීම යෝග්‍ය බව ඉන්දීය නව නායකයාගේ මතය බැවින් අද තරගයේදී දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු සමගින් වේග පන්දු යවන්නන් තිදෙනකු යොදා ගැනීම ඉන්දීය කණ්ඩායමේ බලාපොරොත්තුවයි. ඒ අනුව බුවනේෂ්වර් කුමාර්, ඉෂාන්ට් ශර්මා සහ උමේෂ් යාදව් වේග පන්දු යවන්නන් ලෙසිනුත්, රවිචන්ද්‍රන් අශ්වින් සහ හර්බජන් සිං දඟ පන්දු යවන්නන් ලෙසිනුත් අද තරගයට එක්වනු ඇතැයි විශ්වාස කළ හැකිය.
ඡායාරූපය ශාන්ත රත්නායක