ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයන් හඳුනා ගැනීමට නම් ස්ථිර පදනමක් ඇති හොඳ පළාත් තරගාවලියක් අවශ්‍ය බවත්, එය ක්‍රිකට් ආයතනයේ පරිපාලනය වෙනස් වූ පමණින් වෙනස් නොවිය යුතු බවත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සුපිරිතම ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක් වන කුමාර් සංගක්කාර හා මුත්තයියා මුරලිදරන් පැවසූහ.
ඔවුන් එසේ පැවසුවේ, කොළඹදී පසුගියදා (01දා) පැවැති මුරලි හාමනි කුසලානය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකදීය.
එවැනි තරගාවලියක් පැවැත්වීමට නම් උතුරු හා නැගෙනහිර පළාත්හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමද අත්‍යවශ්‍ය බව ඔවුහු පෙන්වා දුන්හ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමානයේ ඇති වී තිබෙන දක්ෂතා පිළිබඳව වන ගැටලුවට හොඳ පළාත් තරගාවලියක් නොමැති වීම මූලික සාධකයක් බවට පත්ව ඇති බව මුරලි සඳහන් කළේය. එසේම කණ්ඩායමේ ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා අවම වශයෙන් තවත් වසර තුන හතරක්වත් ගතවෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු උපසභාපති කුෂිල් ගුණසේකර මහතා පැවසුවේ, පළාත් තරගාවලියට සමාන තරගාවලියක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටින බවයි. එය ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් හිටපු සුපිරි ක්‍රීඩකයෙක් වන මහේල ජයවර්ධනගේ සැලසුමක් බවත් ඔහු පැවසීය. එය කලාපීය තරගාවලියක් ලෙස හැඳින්විය හැකි බවත්, ඔස්ට්‍රේලියාවේ පවතින තරගාවලියට සමාන බවත් ඔහු පැවසීය.
උතුරු නැගෙනහිරට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඕන - කුමාර් සංගක්කාර (හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක)
ක්‍රීඩා සමාජයම කියන දේ නැතිව, යටිතල පහසුකම් වැඩිදියුණු කරලා ඒ පළාතේ ක්‍රීඩයන්ට ඒ පළාතෙම ක්‍රීඩාකරන්න අවස්ථාව ලබාදීලා ක්‍රිකට් ක්‍රීඩාවේ පළාත් බඳ නියෝජනය වැඩිකළොත් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට වගේම ඒ ක්‍රීඩකයන්ටත් ඒක ලොකු හයියක්. එතකොට උතුරේ අයට පුළුවන් තමන්ගේ අයත් සමග ඉඳලා දක්ෂතා දක්වන්න. පළාත් තරගාවලියක් තිබුණොත් ලොකු අවස්ථාවක් තියෙනවා ඒ පළාතේ ක්‍රීඩකයන්ට ඒ පළාතෙම ක්‍රීඩා කරලා ජාතික සංචිතයට එන්නට හෝ ජාත්‍යන්තරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්න.
ඒකට අපි පොඩ්ඩක් දුරින් ඉන්නේ. මම හිතන්නෙ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සෑහෙන්න මහන්සි වෙනවා, ඒ දේ කරන්න. උතුරු නැගෙනහිර ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න ඕන. අවුරදු ගාණක ඉඳන් පළාත් තරගාවලියක් වරින් වර තිබුණා. අපි වෙන කාවවත් බලලා ඒ අයගේ දේ කරන්න හොඳ නෑ. කොළඹට ආවට පස්සෙ මෙහේ තියෙන පහසුකම් එක්ක ක්‍රීඩාකරපු ක්‍රීඩකයන් එක්ක ඒ අයට (උතුරේ අයට) තරග කරන්න වෙනවා. පහසුකම් ලබාදුන්නොත් උතුරු නැගෙනහිර ක්‍රීඩකයන්ට ඉස්සරහට යන්න විශ්වාසයක් ඇති වෙනවා.
අපි සැලැස්මක් හදාගෙන යනවා - කුෂිල් ගුණසේකර (ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු උපසභාපති)
ක්‍රිකට් පාලක මණ්ඩලය පැත්තෙන් මම කියන්නම්. මහේල යෝජනා කරලා තියෙනවා කලාපීය ක්‍රමයක්. පල්ලේකැලේ, දඹුල්ල, සූරියවැව, ඛෙත්තාරාම, ගාල්ල ඒ වගේ කලාප පහට ගෙනියන්න තමයි බලාපොරොත්තුව. අපි ඒකට සැලැස්මක් හදාගෙන යනවා. අද ක්‍රිකට් කණ්ඩායම ගත්තොත් 10ක් පිටපළාතෙන්. පස්දෙනෙක් පමණයි කොළඹින් ඉන්නේ. මීට අවුරුදු 10කට ඉස්සර තිබුණේ ඊට වඩා වෙනස් තත්ත්වයක්.
දැන් දක්ෂ ක්‍රීඩකයෝ හැංගිලා ඉන්නේ - මුත්තයියා මුරලිදරන් (හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක)
අපිට කනිෂ්ඨ අංශයේ පළාත් තරගාවලියක්, ජ්‍යෙෂ්ඨ අංශයේ පළාත් තරගාවලියක් අවශ්‍යයි. ඒක කවදාවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරන්නෙ නෑ. ඒ අය ඔක්කොම කරන්නෙ අන්තර් සමාජ ක්‍රිකට්. අන්තර් සමාජ ක්‍රිකට්වලින් සෑහෙන ප්‍රමාණයක් තමයි ඉහළට යන්නේ. පරතරය (සමාජ ක්‍රිකට් හා පළාත් ක්‍රිකට් අතර) වැඩියි. අපි අවුරුදු විස්සක් ක්‍රිකට්වල හොඳ තත්ත්වයේ හිටියා. සංගයි, මහේලයි ආවෙත් ඒ කාලේ.
ඊට පස්සෙ කට්ටිය උඩට ආවේ නෑ. හේතුව අපි අන්තර් සමාජ ක්‍රිකට්ම බලාගෙන හිටියා මිසක් පළාත් තරගාවලියට ගියේ නෑ. මේ අය (සංගා, මහේල) ගියාට පස්සේ පරතරය වැඩි වුණේ ඒකයි. මේක හැදෙන්න තව අවුරුදු තුනක් හතරක් යනවා. ඒකට පළාත් යාන්ත්‍රණයක් හදන්න ඕන. ඒක හැදුවොත් උතුරු, නැගෙනහිර හැම පැත්තෙන්ම නියෝජනයක් වෙනවා. දැන් දක්ෂ ක්‍රීඩකයෝ හැංගිලා ඉන්නේ. ඔක්කොම කොළඹට එන්න ඕන ක්‍රිකට් ගහන්න. ඒකයි ප්රශ්නය වෙලා තියෙන්නේ. ඉස්සර පළාත් තරගාවලියක් තිබුණා. මම ආසයි නුවර යන්න. නමුත් වෙන පැත්තකට දානවා. එහෙම හරියන්නෙ නෑ. මේක නිකන් ගහන්න ඕන නිසා ගහනවා. අවුරුදු 100ක් ගියත් මේ යාන්ත්‍රණය යන විදියට හදන්න ඕන. පාලක මණ්ඩලයෙන් පාලක මණ්ඩලයට එය වෙනස් නොවිය යුතුයි.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ