සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටයේ ඊයේ (30දා) පැවති පළමු පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 29 ක ජයක් ලබා ගැනීමට සංචාරක පකිස්තානය සමත් විය.
ලකුණු 176 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවට සිය පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 7 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 146 ක් පමණි. කුසල් පෙරේරා සමගින් ටී.එම්.ඩිල්ෂාන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළද ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට පාකිස්ථානු පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ.
අන්වර් අලි ගේ පන්දුවකට අපරීක්ෂාකාරී පහරක් එල්ල කිරීම හේතුවෙන් පළමු කඩුල්ල ලෙස කුසල් දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 4 ක් ලෙස සටහන් වෙද්දීය. කෙසේ වෙතත් ඩිල්ෂාන්ටද සාර්ථක වීමට සොහෙල් තන්වීර් ඉඩ ලබා නොදුන් අතර ඔහු ලකුණු 6 කට දැවී ගියේය. කිත්රුවන් විතානගේටද රැස් කිරීමට හැකි වූයේ ලකුණක් පමණි.
ඒ අනුව පන්දුවාර 3.1 ක් වන විටදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 19 කට කඩුළු 3 ක් ලෙස සනිටුහන් විය.
කෙසේ වෙතත් ඉන් අනතුරුව නවක පිතිකරු ධනංජය සිල්වා සමගින් එක්වූ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිම යම් ස්ථාවරත්වයකට ගෙන ඒමට තැත් කළද මුළු ලකුණු සංඛ්‍යාව 55 ක් වන විටදී මැතිව්ස් ද දැවී ගියේය.
කඩා වැටුනු ශ්‍රී ලංකා ඉනිමට නව ජීවයක් ලබා දුන් නවක ක්‍රීඩක ධනංජය ද සිල්වා ලකුණු 31 ක් රැස් කරීමට සමත් විය.
ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුනු 116 ක් ලෙස සනිටුහන් වෙද්දී මිලින්ද සිරිවර්ධනද ලකුණු 34 කට දවාලීමට සොහෙල් තන්වීර් සමත් විය. ඉන් අනතරුව පිටියට පිවිසි තිසර පෙරේරා නැවතත් අසාර්ථක විය.
කෙසේ නමුත් වසර තුනකට පසු නැවතත් පිටියට පිවිසි චාමර කපුගෙදර ඉනිමේ අවසන් භාගයේදී කණ්ඩායම යම් ස්ථාවර්ත්වයකට ගෙන ඒමට තැත් කළද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට ඔහුගේ උත්සාහය ප්‍රමාණවත් නොවීය. තරගයේ වීරයා සම්මානය හිමි වූයේ පාකිස්තානු ක්‍රීඩක සොහෙල් තන්වීර්ටයි. දෙරට අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් පන්දුවාර විස්ස තරගය අනිද්දා (01) කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවත්වේ.
මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ධනංජයද සිල්වා, බිනුර ප්‍රනාන්දු, මිලින්ද සිරිවර්ධන හා ජෙෆ්රි වැන්ඩර්සේ විස්සයි20 වරම් හිමිකර ගත්හ.
ඡායාරූප ශාන්ත රත්නායක