ඉන්දියාවේ පූනේහිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් අතර පැවැත්වෙන බර ඉසිලීමේ තරගාවලියේ පළමු දිනයේදී විශිෂ්ට දස්කම් දැක්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
එහිදී තරගාවලියේ පළමු දිනය වූ ඊයේ (12දා) නව ශ්‍රී ලංකා වාර්තාවක් හා රන් පදක්කම් දෙකක් ඇතුළුව සමස්ත පදක්කම් 5 ක් හිමි කරගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
මෙහිදී කි.ග්රෑ. 56 ජ්‍යෙෂ්ඨ ඉසව්ව නියෝජනය කළ ජේ.ඒ.සී. ලක්මාල් එම ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වූයේ ස්නැච් ක්‍රමයෙන් කි.ග්රෑ 111 ක බරක් ඔසවමිනි. එහිදී ඔහු විසින් බිඳ හෙළුවේ ඔහු විසින්ම තබා තිබූ කි.ග්රෑ 110 ක වාර්තාවයි. කෙසේ වෙතත් එම ඉසව්වෙන් ඔහුට හිමි වූයේ හතර වැනි ස්ථානයයි.
ඊට අමතරව කි.ග්රෑ. 50 බර (යොවුන්- පිරිමි) පංතිය නියෝජනය කළ පී.වයි. පොල්හේන්ගොඩ හා කි.ග්රෑ 48 (යොවුන්- කාන්තා ) ඉසව්ව නියෝජනය කළ ඩී.ඩී. අබේසේකර රන් පදක්කම් දිනා ගත්හ.
ඊට අමතරව කි.ග්රෑ 44 බර (යොවුන්- පිරිමි) පංතිය නියෝජනය කළ ජේ.ජී. ගුණතිලක රිදී පදක්කමක්ද , කි.ග්රෑ 56 (කනිෂ්ඨ- පිරිමි) බර පංතිය නියෝජනය කළ ජී.ආර්.වීරරත්න හා කි.ග්රෑ 50 (යොවුන්- පිරිමි) ඉසව්ව නියෝජනය කළ ජී.ආර්. ගම්ලත් මෙහිදී ලෝකඩ පදක්කම් දිනා ගත්හ.
වයස් කාණ්ඩ තුනක් (ජ්‍යෙෂ්ඨ, යොවුන්, කනිෂ්ඨ) යටතේ කාන්තා හා පිරිමි අංශ ද්විත්වයකින් පැවැත්වෙන මෙම තරගාවලිය එළඹෙන 16 වැනිදා දක්වා පැවැත්වේ.