මලල ක්‍රීඩාව සඳහා ආදරය කරන පිරිසගේ කැපවීම මත නව නිලධාරී මණ්ඩලයක් ලෙස තම සංගමය සංවිධානය කරන පළමු ක්‍රීඩා උලෙළ සාර්ථක ලෙස පැවැත්වීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ නව සභාපති සුගත් තිලකරත්න මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ, හෙට (23දා) ආරම්භ වීමට නියමිත කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "මෙම තරගාවලිය අපි දින 5 ක් වගේ කාලයක් තුළදී ඉතා හදිසියේ සැලසුම් කළ තරගාවලියක්. අපිට ඒක ලොකු අභියෝගයක් වුණා. නමුත් ඒ අභියෝගය හොඳින් ජය ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා." යැයි පැවසීය.
මෙම තරගාවලිය එළඹෙන 23 වැනිදා සිට 26 වැනිදා දක්වා හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඉසව් 130 කට අධික ප්‍රමාණයකින් සමන්විත මෙම තරගාවලියේ රිටි පැනිමේ ඉසව් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එමෙන්ම තරගාවලිය සඳහා මේ වනවිට අයදුම්පත් 3000 කට අධික ප්‍රමාණයක් ලැබී ඇතැයිද සංවිධායකයෝ මෙහිදී සඳහන් කළහ.
තරගාවලියේ සමාරම්භක උලෙළ සඳහා ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා ද සමාප්ති උලළේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ද සහභාගි වීමට නියමිතය.