මෙවර ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවට එතරම් වාසිදායක නොවුණත්, කණ්ඩායමකට වඩා පවුලක් වශයෙන් ක්‍රීඩා කළහොත් තරගාවලියේ ජයග්‍රහණය ප්‍රශ්නයක් නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක, වරාය හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය හා “සෝවා” (zoa) රාජ්‍ය නොවන සංවිධානය එක්ව සංවිධානය කරන 'ක්‍රිකට් ක්‍රීඩාව තුළින් සංහිඳියාව' (Reconciliation Through Sport Cricket) ඇති කිරීමේ ක්‍රිකට් තරගාවලියේ ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති සම්මන්ත්‍රණයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අර්ජුන රණතුංග මහතා,"පසුගිය කාලෙ තරග පරාජයන් අමතක කරලා, අපේ කණ්ඩායම එකට එකතු වෙලා, තරගයෙන් තරගයට ක්‍රීඩා කළ යුතුයි. මම හිතන්නෙ අපට තරගාවලිය පටන් ගන්නේ අර්ධ අවසන් පූර්ව වටයෙන්. එතැන ඉඳන් තමයි අපට ගැටලුවක් ඇති වෙන්නේ. මොකද තරගයක් පරාජය වුණොත් තරගාවලියෙන් ඉවත් වෙන්න සිදුවෙනවා." යැයි පැවැසීය.
ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් ලකුණු අතර සිටීම වාසියක් බවත් ඇන්ජලෝ මැතිව්ස් නායකයෙක් ලෙස පසුගිය කාලයේදී හොඳින් දක්ෂතා දක්වා ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.
"කොහොමත් අපට දක්ෂ කණ්ඩායමක් ඉන්නවා. ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් ලකුණු අතර සිටීම වාසියක්. ලසිත් මාලිංග සුව වෙලා නැවතත් කණ්ඩායමට පැමිණීම වාසියක්. ඇන්ජලෝ මැතිව්ස් නායකයෙක් ලෙස පසුගිය කාලයේ හොඳ දක්ෂතා අතර හිටියා. මම හිතන්නෙ කණ්ඩායමකට වඩා පවුලක් වගේ ක්‍රීඩා කළොත් ජයග්‍රහණය කිරීම අපට ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා."
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරි 14 වැනිදා සිට මාර්තු 24 වැනිදා දක්වා ඔස්ට්‍රේලියාවේදී හා නවසීලන්තයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන පළමු තරගය පෙබරවාරි 14 වැනිදා නවසීලන්තයට එරෙහිව පැවැත්වේ.
මේ අතර ඊයේ (10දා) ආරම්භවූ ක්‍රිකට් ක්‍රීඩාව තුළින් සංහිඳියාව ක්‍රිකට් තරගාවලිය සඳහා උතුරු හා දකුණු පළාත්වල දිස්ත්‍රික්ක 08 ක විසිරී සිටින කාන්තා හා පිරිමි යොවුන් ක්‍රිකට් කණ්ඩායම් සහභාගීවන අතර, පළමුව දිස්ත්‍රික් තරග පවත්වා ඉන් තෝරාගන්නා කණ්ඩායම් 18 ක් අවසන් තරගාවලිය සඳහා ක්‍රීඩා කරයි. තරගාවලියේ අවසන් තරගය මාර්තු 24 වැනිදා මුලතිව්හීදී පැවැත්වේ.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් රොබින් මුඩි මහත්මිය හා 'සෝආ' (ZOA) සංවිධානයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය (COUNTRY) අධ්යක්ෂ ගයිඩෝ ඩි ව්රියේස් මහතා ඇතුළු මහත්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෝ පිරිසක්ද සහභාගීවූහ.