2015 දී පැවැත්වෙන මීළඟ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටදී මුහුණ දෙන අවසන් එක්දින තරගාවලිය අද (26දා) සවස 2.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් ආරම්භ වේ. ඉන්දියාව සමග හදිසි එක්දින තරගාවලියට සහභාගිවී ඉන් අන්ත පරාජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම, ඉන්දියාව සමග එංගලන්තයේ පැවැති තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 3-1 ක් ලෙසින් පරාජයට පත්වූ එංගලන්ත කණ්ඩායමද අද තරගයට ප්‍රවිෂ්ට වන්නේ සම මට්ටමක හිඳිමිනි.
ඉන්දීය එක්දින කණ්ඩායම හමුවේ ගිලිහී ගිය සිය අභිමානය රැකගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම, එංගලන්ත කණ්ඩායමටද සිදුව ඇත. එංගලන්ත කණ්ඩායම එක්දින තරගාවලියට එක්වන්නේ මාස දෙකක පමණ විවේකයකින් පසුවය. එහෙයින් එංගලන්ත කණ්ඩායම අද තරගයට ප්‍රවිෂ්ට වන්නේ පරාජයේ අමිහිරි මතකයන් අමතක කර, ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තරමක් ඉදිරියෙන් සිටිමිනි. එහෙත් පරාජයේ වේදනාව අමතක කර ජයග්‍රහණයේ මාවතට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තියක් ඇත.
කෙසේ වෙතත් මේ දිනවල පවතින දේශගුණය අනුව තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකා කණ්ඩායම විසින් හිමිකර ගැනීමට වැඩි ඉඩක් පවතියි.
එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු තරග තුන සඳහා නම් කළ කණ්ඩායමට වසර හයකට පසුව ඩිල්රුවන් පෙරේරා සහ වසර තුනකට පසුව තිළිණ කණ්ඩම්බිද වසරකට පමණ පසුව ජීවන් මෙන්ඩිස්ද කැඳවා ඇත. එක්දින ලෝක කුසලානය තරගාවලියට පෙරාතුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවසන් එක්දින තරගාවලියට කැඳවීම නවසීලන්ත තරග සංචාරය සහ එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඔවුන්ට හිමිවූ මහඟු අවස්ථාවකි. ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙළා ගනිමින් නවසීලන්ත සංචාරයේ මෙන්ම, ලෝක කුසලානය වෙනුවෙන් තම ස්ථානයන් වෙන්කර ගැනීමට මෙම ක්‍රීඩකයන් උත්සාහ කළ යුතුය.
එමෙන්ම ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීමද කළ යුතුය. එසේ නොමැතිව සංචිතයට පමණක් කැඳවීමෙන් ඵලක් නොමැත.
එංගලන්තය සමග පැවැති පුහුණු තරගයේ දී කුසල් ජනිත් ලකුණු අතරට ප්‍රවිෂ්ට වීම නිසා ඔහුට නැවත වරක් එක්දින සංචිතයේ ස්ථානය හිමිවී ඇත. කුසල්ට ලැබෙන අවසන් අවස්ථාව මෙය විය හැකි බැවින් කුසල්ද මෙම අවස්ථාවෙන් උපරිම ඵල නෙළාගැනීමට උත්සාහ කළ යුතුය. එසේ නොවුණහොත් කුසල් ගැන විශ්වාසය තැබූ තේරීම් කමිටුව අමාරුවේ වැටෙනු ඇත.
එමෙන්ම ලකුණු අතරට ප්‍රවිෂ්ට නොවී දිගින් දිගටම කුසල්ට අවස්ථාව ලබාදීම සෙසු ක්‍රීඩකයන්ටද කරන අසාධාරණයක් වනු ඇත. එබැවින් තේරීම් කමිටුව තමන් කෙරෙහි තවදුරටත් තබා ඇති විශ්වාසය තහවුරු කිරීම කුසල්ගේ වගකීමවනු ඇත.
එමෙන්ම කුසල් සාර්ථක වුවහොත් ආරම්භක පිතිකරුවන්ගේ ගැටලුව විසඳාගත හැකිය. එසේ නොවන්නට ආරම්භක පිතිකරුවෙකු ලෙසින් මහේල අත්හදා බලන්නට සිදුවනු ඇත. යම් හෙයකින් මහේල ආරම්භක පිතිකරු වුවහොත් පිතිකරණ ලැයිස්තුවේ මැදපෙළට අත්දැකීම් ඇති ක්‍රීඩකයෙකු අහිමිවනු ඇත. එය තේරීම් කමිටුව මුහුණ දෙන තවත් ගැටලුවකි. එබැවින් කුසල් සාර්ථක වීම ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩිව දැනෙමින් තිබේ. කෙසේ වෙතත් කුසල් සාර්ථක නොවන්නේ නම් මහේල ආරම්භක පිතිකරු ලෙසින් යොදා ගනිමින් තිළිණ කණ්ඩම්බි අංක හතර ස්ථානයේ ක්‍රීඩා කිරීමට යොදාගත හැකිය.කණ්ඩම්බි අත්දැකීම් ඇති පිතිකරුවෙකි.
පීඩනය ඇති අවස්ථාවේ දී පන්දු යවමින් තවමත් සාර්ථකවීමට නොහැකිවූ අජන්ත මෙන්ඩිස් වෙනුවට රංගන හේරත් හෝ ඩිල්රුවන් පෙරේරා යොදාගත හැකිය. අත්දැකීම් අතින් ගත් කළ රංගන ඉදිරියෙන් සිටින අතර, පිතිකරුවෙකු ලෙසින් ගත්කළ ඩිල්රුවන් ඉදිරියෙන් සිටියි. එබැවින් අජන්තගේ ස්ථානය සඳහා රංගන හා ඩිල්රුවන් අතර තරගයක් ඇත. කෙසේ වෙතත් අද තරගයට රංගන හේරත් ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් ඇත. එමෙන්ම පාදඟ පන්දු යැවූ ප්‍රසන්නගේ ස්ථානයට ජීවන් මෙන්ඩිස් කැඳවීම බොහෝදුරට සිදුවිය හැක.
එංගලන්ත කණ්ඩායම දෙස අවධානය යොමු කරන්නේ නම් නායක ඇලිස්ටෙයාර් කුක් ගිලිහී ගිය සිය කීර්තිනාමය රැකගැනීමට ප්‍රබල උත්සාහයක් දියත් කරමින් සිටියි. පිතිකරුවෙකු ලෙසින් මෙන්ම නායකයෙකු ලෙසින්ද දිගින් දිගටම අසාර්ථක වූ කුක්, ඔහුට එරෙහිව එල්ලවූ සියලු ප්රහාරයන්ට උත්තර ලබාදීමට මෙම සංචාරයේදී උත්සාහ කරනු ඇත. එබැවින් ඒ සඳහා කුක්ට අවස්ථාවක් ලබානොදිය යුතුය.
මේ වනවිට එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ලකුණු අතර සිටින පිතිකරුවා ජෝ රූට් සහ ජෝස් බට්ලර්ය. එමෙන්ම මොයින් අලීද ක්‍රමක්‍රමයෙන් පිතිකරුවෙකු ලෙසින් සාර්ථක වෙමින් සිටියි. මෙය එංගලන්ත කණ්ඩායමට ධන ලකුණකි. එමෙන්ම ඇලෙක්ස් හේල්ස්ද වේගයෙන් ලකුණු රැස්කළ හැකි පිතිකරුවෙකි. එංගලන්තයට ගැටලුවක්ව ඇත්තේ මැදපෙළයි. එංගලන්ත මැදපෙළ පිතිකරුවන්ට පසුගිය තරගාවලි කිහිපයේදීම සාර්ථකවීමට අවස්ථාවක් නොලැබුණි. කෙසේ වෙතත් ඉයන් බෙල් කණ්ඩායමේ සිටීම එංගලන්තයට වාසියකි.
බෙල් ඉතා සංයමයෙන් යුතුව සිය ඉනිම ගොඩනගන පිතිකරුවෙකු වන අතර, දිගු ඉනිම් ක්‍රීඩාකරන පිතිකරුවෙකු ලෙසින්ද ප්රකටය. එබැවින් සෙසු පිතිකරුවන්ට ඔහු වටා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ඇත.
මේ වනවිට මොයින් අලී දඟපන්දු යවන්නෙකු ලෙසින්ද සාර්ථක වෙමින් සිටියි. එබැවින් ඔහුට කඩුලු ලබාගැනීමට අවස්ථාවක් හිමිවුවහොත් එය එංගලන්ත කණ්ඩායමට වාසියකි. එහෙයින් මොයින් පාලනය කිරීමට මහේලට ඉදිරියට පැමිණීමට සිදුවනු ඇත.
එංගලන්ත සංචිතය
ඇලිස්ටෙයාර් කුක් (නායක), මොයින් අලී, ජේම්ස් ඇන්ඩර්සන්, ඉයන් බෙල්, රවී බොපාරා, ජෝස් බට්ලර්, ස්ටීවන් ෆින්, හැරී ගර්නි, ඇලෙක්ස් හේල්ස්, ක්‍රිස් ජෝඩන්, ඉයන් මෝගන්, ජෝ රූට්, බෙන් ස්ටෝක්ස්, ජේම්ස් ට්‍රැඩ්වෙල්, ජේම්ස් ටේලර්, ක්‍රිස් වෝක්ස්
ශ්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ශාන්, කුසල් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, රංගන හේරත්, තිළිණ කණ්ඩම්බි, ඩිල්රුවන් පෙරේරා, අජන්ත මෙන්ඩිස්, ශමින්ද එරංග, ධම්මික ප්‍රසාද්, තිසර පෙරේරා, ළහිරු ගමගේ
ඡායාරූප ශාන්ත රත්නායක