මීට වසර කිහිපයකට පෙර ඉන්දීය කණ්ඩායමට සිටි දක්ෂ තුන් ඉරියව් ක්රීඩකයෙකු වූයේ යූෂෆ් පතන්ය. කෙසේ වෙතත් ආසන්න වසර කිහිපයේදී ඔහුට ඉන්දීය ජාතික කණ්ඩායමේ සිය ස්ථානය වෙන් කර ගැනීමට නොහැකි විය. කෙසේ වෙතත් එවැනි ආකාරයට කණ්ඩායමේ ස්ථානය අහිමි වී ගිය ක්රීඩකයන් නැවතත් ඉන්දීය ජාතික කණ්ඩායමේ ස්ථානය වෙන් කර ගැනීමට යොදාගන්නා ප්රධාන තරගාවලියක් වෙන්නේ ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියයි.
ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියේ තවත් උණුසුම් තරගයක් ඊයේ පැවැත්වුණේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා කෝල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතරයි. බැංගලෝර්හි චින්නාස්වාමි ක්රීඩාංගණයේ පැවැති තරගයේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ක්රීඩකයා බවට පත්වූයේ යූෂෆ් පතන්ය.
ඒ ඔහුගේ ප්රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් සත්කාරක රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම පරාජය කරමින් කඩුලු පහක ජයක් ලබාගැනීමට ආගන්තුක කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්වූ හෙයිනි.
මුලින්ම පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම සිය පන්දුවා 20 අවසානයේදී කඩුලු හතට ලකුණු 185ක් රැස්කළේය. දැවැන්ත ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි කොල්කාටා කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 69ක් තුළ බිද වැටුණි. එහෙත් ඉන් අනතුරුව පිටියේ තනි වූ කෝල්කටා කණ්ඩායම නියෝජනය කරන ප්රභලම තුන් ඉරියව් ක්රීඩකයන් දෙපළක් වෙන ඇන්ඩ්රේ රසල් හා යූෂෆ් පතන් පිටිය හතර වටේට පහරවල් එල්ල කරමින් බැංගලෝර් කණ්ඩායමේ ජයග්රහණය උදුරා ගත්හ.
ඔවුන් දෙදෙනා පන්දුවාර 7.2කදී ගොඩ නැගූ සබඳතාව ලකුණු 96කි. ඉනිමේ පස්වැනි පිතිකරු ලෙසට පිටියට පිවිසි යූෂෆ් පන්දු 29කදී ලකුණු 60ක් නොදැවී රැස්කරමින් කණ්ඩායමේ ජය තහවුරු කළේ තවත් සුපිරි එසේත් නොමැතිනම් මැජික් ඉනිමක් ක්රියාත්මක කරමිනි.