ජනති විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ක්‍රිකට් ආයතනයේ පසුගිය කාලයේදී සිදුවූයේ යැයි පවසන වංචා දූෂණ, ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයාට හා විධායක කමිටුවට එල්ල කරන චෝදනා පදනම් විරහිත බවට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අනුමත කළැයි ක්‍රිකට් ආයතනය පෙරේදා (10දා) නිකුත් කළ නිවේදනය නිවැරදි කර නව නිවේදනයක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගෙන් ඊයේ (11දා) ඉල්ලා තිබේ.
පෙරේදා පැවැති විධායක රැස්වීමේදී තීරණය කළේ එල්ල වී ඇති චෝදනාවලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති නිලධාරීයාගෙන් පිළිතුරක් ලබාගෙන එය විධායක කමිටුවේ අනුමැතියට යොමු කිරීමෙන් අනතුරුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම බව විධායක කමිටු සභිකයෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිට යොමු කළ ලිපියක සඳහන් කර තිබේ.
එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ ලේකම්ට, හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාට හා ක්‍රිකට් අතුරුපාලක කමිටුවට එරෙහිව හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ල 'පදනම් විරහිත හා ද්වේෂ සහගතව' කරන පැමිණිල්ලක් බවට විධායක කමිටුව තීරණයක් නොගත් බවත් එම ලිපියේ සඳහන් වෙයි.
එවැනි තත්ත්වක් තිබියදී මන්ත්‍රීවරයා සඳහන් කළ චෝදනා 'පදනම් විරහිත හා ද්වේෂ සහගත චෝදනා' වූ බවට නිවේදනයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ කාගේ අනුමැතියකට අනුවදැයි එම සභිකයා ප්‍රශ්න කර තිබේ.
එසේම හඳුන්නෙත්ති මහතා ගොනු කළ පැමිණිල්ලේ අංක 3, 4, 5, 6, 9, 11, 12, 13, 14, 15, 17, 18, 19, 20, 21, 22, 23, 24, 26, යන පැමිණිලි ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයාට එල්ලකර තිබෙන හෙයින් ඒ සඳහා පිළිතුරු ලබාදිය හැක්කේ ඔහුට පමණක් බවත්, එවැනි තත්ත්වයක් යටතේ අදාළ චෝදනා පදනම් විරහිත බවට සඳහන් කරමින් විධායක කමිටුවට පුවත්පත් නිවේදනක් නිකුත් කළ හැකිදැයි යනුවෙන්ද එම සභිකයා සභාපතිවරයාගෙන් ප්‍රශ්න කර තිබේ.
මේ අතර නීති උපදේශක කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වංචා විමර්ශන පනතට අයත් ආයතනයක් නොවන බවයි.
එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලවා අදාළ කරුණු නිවැරදි කර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන විධායක කමිටුවේ කීර්තිනාමයට විය හැකි හානිය වළක්වන ලෙසත් එම සභිකයා සභාපතිවරයාගෙන් ඉල්ලා තිබේ.