ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ නාවික හමුදා ක්‍රීඩා සමාජය හා හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංණයේදී ඊයේ (01දා) පැවැති තරගය අවසානයේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
මෙහිදී තරගයේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස කටයුතු කළ අරුණ රන්කොත්ගේ මහතා සහ සහාය විනිසුරුවන් දෙපළ තරගයෙන් අනතුරුව විනිසුරු කාමරය තුළ සිටියදී, නාවික හමුදා කණ්ඩායමේ ඉහළ පරිපාලන නිලධාරීන් කිහිප දෙනෙකු එතැනට පැමිණ ඔවුන් සමග බහින්බස් විය.
ඉන් අනතුරුව නාවික හමුදා කණ්ඩායමට සම්බන්ධ යැයි කියාගන්නා තවත් පුද්ගලයෙකු පැමිණ සහාය විනිසුරුවන් සමග නැවතත් ගැටුමක් ඇති කරගැනීමට උත්සාහ ගන්නා අයුරුද, නාවික හමුදාවේ නිල ලාංඡන සහිත ටී-ෂර්ට් ඇඳගත් කිහිප දෙනෙකු බෝතල් හා වතුර ප්‍රහාර මගින් මෙම ගැටුමට සහයෝගය ලබාදෙන අයුරුද අපි දුටුවෙමු.
ක්‍රීඩාංගණයේ එක්පසෙක එලෙස ගැටුමක් නිර්මාණය වෙද්දී හැව්ලොක් ක්‍රීඩකයන් සිය කාමරය වෙත ගමන් කරනවිට නාවික හමුදා රග්බි කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු හැව්ලොක් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට පහරදුන් ආකාරයත්, ඉන් අනතුරුව තවත් නාවික හමුදා නිල ලාංඡනය සහිත ටී-ෂර්ට් ඇඳගත් කිහිප දෙනෙකු මෙම පහරදීමට දායකවන ආකාරයත් අපි දුටුවෙමු.
මෙම සිදුවීමෙන් අනතුරුව අප ක්‍රීඩාංගණයෙන් පිටතට පැමිණෙද්දී දොරටු අසල රැඳී සිටි නාවික හමුදා නිල ඇඳුම් ඇඳගත් නිලධාරීන් අප ඇතුළු සහෝදර මාධ්‍යවේදීන් පිටතට පැමිණීම වැළැක්වීමට උත්සාහ ගත් අතර, ඒ මන්දැයි විමසූ විට ඔවුන් පැවසුවේ "මීඩියාවලට එළියට යන්න දෙන්න එපා කියල ඉහළින් ඕඩර්ස් ඇවිල්ල තියෙනවා" යනුවෙනි. ඒ කුමන හේතුවක් නිසාදැයි අප විමසූ විට එයට නිසි පිළිතුරක් සැපයීමට ඔවුන් අපොහොසත් විය. එමෙන්ම ඔවුන් ළඟ තිබූ වෝකි ටෝකි යන්ත්‍ර මගින් "මීඩියාවලට එළියට යන්න දෙන්න එපා" යනුවෙන් කිසියම් අයෙකු උපදෙස් ලබාදෙන ආකාරයද ඇසිණි.
මෙම සිදුවීම පිළිබඳ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතාගෙන් ඊයේ (01දා) සන්ද්‍යාවේ කළ විමසුමකදී ඒ මහතා ප්‍රකාශ කළේ අදාළ සිදුවීම පිළිබඳව තමන්ට ඒ වනවිට කිසිදු ආරංචියක් ලැබී නොමැති බවයි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ මෙවැනි සිදුවීම් අප දැඩි ලෙස හෙළා දකින අතර, මාධ්‍යයන් වශයෙන් නිවැරදි හා සත්‍ය සිදුවීම් ජනතාවට දැනගැනීම සඳහා බාධා පමුණුවන මෙවැනි සිදුවීම් මගින් නාවික හමුදාවේ කීර්තිනාමය හානිවන බව දන්වා සිටිමු.