ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ආරම්භ කරමින් ඊයේ (17දා) පැවති තරග වලින් ජය ලැබීමට වත්මන් ලෝක ශූර නවසීලන්තය හා හිටපු ලෝක ශූරයන් වන දකුණු අප්‍රිකාව සමත්විය. ඒ අනුව නවසීලන්තය හා දකුණු අප්‍රිකාව තරග වඳින පළමු අවසන් පූර්ව තරගය එළබෙන (24දා) පැවැත්වීමට නියමිතව ඇත.
නවසීලන්තය 62-13 ප්‍රංශය
ලෝක කුසලාන රග්බි තරගාවලියක පිළිමළුන් පිටුදැකීමේ වටයක වාර්තා වූ ඉහළම ජයග්‍රහණයේ හිමිකරුවන් වීමට ලෝක ශූරතාවයේ වත්මන් හිමිකරුවන් වන නවසීලන්තය සමත් විය.
ඒ කාඩිෆ්හිදී පෙරේදා (17දා) පැවැති තරගයෙන් ප්‍රංශයට එරෙහිව ලකුණු 62-13 ක දැවැන්ත ජයක් ලබමිනි. සුපුරුදු පරිදි තරගයේ ආරම්භයේ සිටම ප්‍රතිවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කළ නවසීලන්තය පළමු අර්ධය නිමාවට පත් කළේ ලකුණු 29-13 ක් ලෙස ඉදිරියෙන් සිටිමිනි.
ජයග්‍රාහී නවසීලන්ත ක්‍රීඩකයෝ ගෝල දිනුම් 07 ක් , උත්සාහක දිනුම් 02ක් හා එක් දඬුවම් පහරකින් සිය ලකුණු රැස් කළ අතර, ගෝල දිනුමක් හා දඬුවම් පහර 02කින් ප්‍රංශය සිය ලකුණු රැස් කළේය.
දකුණු අප්‍රිකාව 23-19 වේල්සය
වසර අටකට පසු ලෝක කුසලානයක අවසන් පූර්ව වටයට පිවිසීමට දකුණු අප්‍රිකාව සමත් විය. ඒ ඊයේ (17දා) පැවති තියුණු තරගයකින් අනතුරුව වේල්සය ලකුණු 23-19 ක් ලෙස පරාජයට පත් කරමිනි.
ලන්ඩන්හි ට්විකෙන්හැම්හිදී පැවැති මෙම තරගයේ පළමු අර්ධයේ පටන්ම කණ්ඩායම් දෙකටම කරට කර ලකුණු රැස් කිරීමක් සිදු කළ අතර, ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් හා ඩ්‍රොප් ගෝලයක් සාර්ථක කර ගනිමින් පළමු අර්ධය අවසන් වෙද්දී වේල්සය ඉදිරීයෙන් සිටීමට සමත් වූයේ ලකුණු 13-12 ක් ලෙසිනි. එහිදී දකුණු අප්‍රිකානුවෝ දඬුවම් පහර 04 ක් සාර්ථක කර ගත්හ.
කෙසේ නමුත් දෙවැනි අර්ධයේ 75 වැනි මිනිත්තුව දක්වා ලකුණු 19-18 ක් ලෙසින් ඉදිරියෙන් සිටි වේල්ස් කණ්ඩායමේ කුසලාන බලාපොරොත්තු සුණුවිසුණු කරමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු නායක ෆවුරි ඩු ප්රීස් සමත් විය.
එම උත්සාහක දිනුම හා දඬුවම් පහර 02 ක් දෙවැනි අර්ධය තුළදී සාර්ථක කරගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වෙද්දී වේල්සයට එම අර්ධය තුළදී සාර්ථක කරගැනීමට හැකි වූයේ දඬුවම් පහර 02ක් පමණි. ඩු ප්රීස් ලබාගත් උත්සාහක දිනුමට අමතරව දකුණු අප්‍රිකාව වෙනුවෙන් දඬුවම් පහර 05 ක් හා එක් ඩ්‍රොප් ගෝලයක් සාර්ථක කිරීමට හැන්ඩ්‍රේ පොලාඩ් සමත් විය. වේල්සය වෙනුවෙන් ගැරත් ඩේවිස් එක් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර, එහි ප්‍රවර්තනය හා දඬුවම් පහර 4 ක් සාර්ථක කරගැනීමට ඩෑන් බිගර් සමත් විය.