ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ප්රමුඛ තේරීම් කමිටුව ඉවත්වීමත් සමග නව තේරීම් කමිටුව මේ සතියේදී පත්වීමට නියමිතය.
නව අතුරු කමිටුවේ පළමු හමුව මෙම සතිය මැදදී පැවැත්වීමට නියමිත අතර, එහිදී නව තේරීම් කමිටුව පිළිබඳව යෝජිත නම් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාට ලබාදීමට නියමිතය.
එම හමුවේදී තේරීම් කමිටුව පිළිබඳව සාකච්ඡා කරන බව එහි සාමාජික මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු භාණ්ඩාගාරික නුෂ්කි මොහොමඩ් මහතා %අද^ පුවත්පතට පැවැසීය.
"අතුරු කමිටුව මේ ගැන (තේරීම් කමිටුව ගැන) තීරණයක් අද හෙටම ගන්නවා. මේ සතිය මැද අතුරු කමිටුව රැස්වෙනවා. ඊට පස්සේ අපි තේරීම් කමිටුවට යෝජිත නම් ඇමතිතුමාට ඉදිරිපත් කරනවා. තේරීම් කමිටුව අපිට පත්කරන්න බෑ. තේරීම් කමිටුව, තේරීම් කමිටු සභාපති පත්කරන්නෙත් ඇමතිතුමා. අපි එතුමට නම් ඉදිරිපත් කරනවා." යැයි ඔහු සඳහන් කළේය.
එසේම අතුරු කමිටුව පත්කිරීම පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට තවදුරටත් කරුණු ඉදිරිපත් කරන බවත් ඔහු පැවැසීය.
මේ වනවිට තමන් අයි.සී.සී. ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් මහතා හා අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළ බවත්, ඉදිරියේදී එහි සභාපති එන්. ශ්‍රීනිවාසන් මහතා හා සාකච්ඡා කිරීමේ සූදානමින් පසුවන බවත් ඔහු පැවැසීය.
"මම දුරකථනයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ඩේව්ඩ් රිචඩ්සන් මහතා සමග සාකච්ඡා කළා. මේ ගැන (අතුරු කමිටුව ගැන) ඇමතිතුමා මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කළ කරුණු ගැන මම ඔහුට කිව්වා. ඒ ගැන (මාධ්‍ය සාකච්ඡාවේ කරුණු) මම ඉදිරියේදී ඔහුට දැනුම් දෙන්නම් කියලත් කිවුවා. ඊට පස්සේ ඔහු දැනුම් දුන්නා රැස්වීමකදී (අයි.සී.සී) එය සාකච්ඡාවට ගන්නම් කියලා.
ශ්‍රීනිවාසන් මහතා හමුවීමට යන බලාපොරොත්තුව තවම අපිට තිබෙනවා. ලෝක කුසලානය ඉවර වුණානේ. දැන් අයි.සී.සී. රැස්වීම් තියෙනවා. ඒ නිසා අපිට තවමත් කාලයක් යොදාගන්න බැරිවුණා. ඔක්කොම සූදානම් කරගෙන ස්කයිප් තාක්ෂණයෙන්, දුරකථනයෙන් හෝ ගිහිල්ලා හමුවෙලා අපි සාකච්ඡා කරනවා." යැයි අතුරු කමිටු සාමාජිකයා පැවැසීය.