ශ්‍රී ලංකා කණ්ඩායම දැන් ස්ථාවර කණ්ඩායමක් බවත්, ඉදිරි තරග දෙකේදී කණ්ඩායමේ ලොකු වෙනසක් සිදු නොවෙනු ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ළහිරු තිරිමාන්න සඳහන් කරයි. පෙරේදා (07දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති සිවුවැනි එක්දින තරගය ජයගැනීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පැවසීය.
"ඉස්සරහට තරග දෙකක් තියෙනවා. ඒ තරග දෙකේදී කණ්ඩායම ලොකුවට වෙනස් නොවේවි. අපට දැන් ස්ථාවර කණ්ඩායමක් ඉන්නවා. තරගාවලිය දිනන්න අප තව තරගයක් ජයග්‍රහණය කරන්න ඕන. මුලින්ම අපි ඒ තරගය ජයග්‍රහණය කරන්න ඕන. ඊට පස්සේ සමහරවිට අත්හදා බැලීමක් දෙකක් සිදුකරයි. නමුත් මේ කණ්ඩායම ස්ථාවර කණ්ඩායමක් කියලා හිතනවා." යැයි පැවසීය.
ඛෙත්තාරාම පිටිය මන්දගාමී විකට්ටුවක් බවත් තරගයට සැලැස්මකින් යුතුව අවතීර්ණ වූ බවත් ළහිරු පැවැසීය. "මූලිකවම අපේ මනසේ තිබුණේ හොඳින් ස්ථාවර වූ පිතිකරුවෙක් අවසානය දක්වා පිටියේ සිටිය යුතුයි කියන කරුණයි. ඇන්ජලෝ හොඳින් පිතිකරණයේ යෙදුණා. මේක තරමක් මන්දගාමී තණතිල්ලක්. ඒකයි අපි දඟපන්දු යවන්නන්ගෙන් ක්‍රීඩා කළේ.
ඡායාරූපය ශාන්ත රත්නායක
මන්දගාමී තණතීරුවක් නිසා අඩුම වශයෙන් දඟපන්දු යවන්නන් දෙදෙනෙකුත් අවශ්‍ය වෙනවා. නමුත් එංගලන්තයේ වේගපන්දු යවන්නන් ගොඩක් පන්දු වේගය අඩාළ කරමින් යොමුකළා. මේක අභියෝගාත්මක තණතීරුවක් නිසා පිතිකරුවන්ට ලේසියෙන් ලකුණු රැස්කරන්න බෑ. ලකුණු රැස්කරන්න ගොඩක් මහන්සි වෙන්න ඕන." යැයි පැවසීය.
මෙවැනි තණතීරුවක් වේග පන්දු යවන්නන් පන්දු යොමු කිරීමේදී එකම ආකාරයෙන් පන්දු යොමු නොකළයුතු බවත් තිරිමාන්න පැවසීය. "විශේෂයෙන්ම වේග පන්දු යවන්නන් වෙනස් ආකාරයෙන් පන්දු යැවිය යුතු වෙනවා. එකම වේගයෙන් පන්දු යොමු නොකළ යුතුයි. හම්බන්තොට තරගය ගත්තොත් එතරම්ම හොඳට දඟ පන්දු යවන්නන්ට දක්ෂතාවට එන්න බැරිවුණා. නමුත් ඊට පස්සේ අපි ගොඩක් සැලසුම් කළා. එංගලන්ත පිතිකරුවන් පන්දුව දඟ කැවෙනවිට හොඳින් ක්‍රීඩා කරන්නෙ නෑ. අපට මේ තරගයේදී දඟපන්දු යවන්නන් තිදෙනෙකුගෙන් සෙල්ලම් කරලා ඔවුන්ට අවස්ථා නොදෙන්නයි අවශ්‍ය වුණේ. අපේ පන්දු යවන්නන් ඒක හොඳින් කළා.
පල්ලේකැලේ තමයි ඊළඟ තරග දෙක තියෙන්නේ. මම හිතනවා. තත්ත්වයන් වෙනස් වෙයි කියලා. ඛෙත්තාරම විකට්ටුවත් එක්ක ගත්තොත් පල්ලේකැලේදී පන්දුව පිත්තට එනවා. මම හිතනවා. හම්බන්තොට විකට්ටුවට පල්ලේකැලේ විකට්ටුව සමාන වෙයි. අපි කරගෙන ගිය හොඳ දේවල් කළොත් මම හිතනවා ඊළඟ තරග දෙක අපට ජයගන්න පුළුවන් වෙයි කියලා.
ජේම්ස් ටේලර් හොඳ පිතිකරුවෙක්. ඔහු අපත් සමග ක්‍රීඩා කර තිබෙනවා. මේ තත්ත්වයන් ඔහුට හොඳින් ගැළපෙනවා. මම හිතනවා ඔහු එංගලන්තයට ප්‍රයෝජනවත් ක්‍රීඩකයෙක් කියලා." යැයි තිරිමාන්න වැඩිදුරටත් පවසා සිටියේය.