වසර 22 කට පසු සමස්ත ලංකා අන්තර් පාසල් සත් සාමාජික රග්බි කුසලාන ශූරතාවක් හිමි කරගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සමත් විය. ඒ පෙරේදා (31) අවසන්වූ තරගාවලියේ අවසන් තරගයෙන් සත් සාමාජික විශේෂඥයන් වූ කොළඹ ඉසිපතන විදුහල ලකුණු 19-14 ක් ලෙසින් පරාජයට පත් කරමිනි.
කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති කුසලාන අවසන් තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර, තරගයේ පළමු අර්ධය අවසන් වනවිටදී ශාන්ත තෝමස් විද්‍යාලයට යම් පීඩනයක් එල්ල කරමින් ලකුණු 07-00 ක් ලෙස ඉදිරියෙන් සීටීමට ඉසිපතන විදුහල සමත් විය. ගෝල දිනුමක් මගින් ඉසිපතන ක්‍රීඩකයෝ එම ලකුණු රැස් කළහ.
කෙසේ නමුත් දෙවැනි අර්ධයේදී සිය පීඩනය මනාව පාලනය කරගත් ශාන්ත තෝමස් ක්‍රීඩකයන්, ගෝල දිනුම් දෙකක් හා එක් උත්සාහක දිනුමක් මගින් ලකුණු 19 ක් එම අර්ධයේදී රැස්කළේ ඉසිපතන විදුහල එම අර්ධය තුළදී එක් ගෝල දිනුමකට පමණක් සීමා කරමිනි. ශාන්ත තෝමස් විදුහල අවසන් වරට මෙහි කුසලාන ශූරතාව හිමි කර ගත්තේ 1994 වර්ෂයේදීය.
මේ අතර තරගාවලියේ පළඟ ශූරතාව හිමි කරගැනීමට ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සමත් විය. ඒ අවසන් තරගයේදී තරගාවලියේ පසුගිය වර්ෂයේ ශූරයන් වූ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල ලකුණු 12-07 ක් ලෙසින් පරාජයට පත් කරමිනි.
තරගාවලියේ බඳුන අවසන් තරගයේදී ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය පරදා ලකුණු 52-08 ක පහසු ජයක් හිමි කරගැනීමට මහනුවර ධර්මරාජ විද්‍යාලය සමත් විය.
පුරා දින දෙකක් (ජනවාරි 30, 31) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණ පිටියේදී පැවැති තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින් සිංගර් ශ්‍රී ලංකා සමාගම කටයුතු කළේය.
ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්රදානය ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර, එහි ලේකම් සුසන්ත මෙන්ඩිස් හා සිංගර් ශ්‍රී ලංකා සමාගම නියෝජනය කරමින් එහි කර්මාන්තශාලා සභාපති සුජීව පෙරේරා යන මහත්වරු සහභාගි වූහ.
අනුශූර කොළඹ ඉසිපතන විදුහල් කණ්ඩායම අනුශූරතාව ලබාගනිමින්
ශූරතාව දිනාගත් ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම ශූරතාව ලබාගනිමින්
ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම
ඡායාරූප කුෂාන් පතිරාජ