සංචාරක පාකිස්තානු කණ්ඩායම පරාජය කර හැමිල්ටන්හි සෙඩන් පාර්ක් ක්‍රීඩාංගණයේ ඊයේ (29දා) අවසන් වූ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 138ක ජයක් ලැබීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගැනීමට නවසීලන්තයට හැකිවිය.
නවසීලන්ත කණ්ඩායමක් පාකිස්තානයට එරෙහිව ටෙස්ට් ශූරතාවක් දිනාගත්තේ වසර 31කට පසුව වන අතර, අවසන් වරට ඔවුන් 1985 වසරේදී තරග 2-0ක් ලෙස පාකිස්තානය පරාජය කර තිබිණි. කෙසේ නමුත් දෙරටේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නවසීලන්තය, පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලි ජය ලබා ඇත්තේ තරගාවලි තුනක් පමණක් වෙයි.
නවසීලන්ත කණ්ඩායම 1955 වසරේදී සිදුකළ පාකිස්තානු තරග සංචාරයෙන් දෙරටේ ටෙස්ට් තරග ඇරඹුම සිදුවිය. එතැන් සිට අද දක්වා වසර 61ක අතීතයේ තරග 55ක් පවත්වා ඇත. ඉන් තරග 24ක් පාකිස්තානය විසින්ද, තරග 10ක් නවසීලන්තය විසින්ද ජය ලබා ඇති අතර, තරග 21ක ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත. එමෙන්ම මෙම කාලසීමාව (1955 - 2016) තුළ ටෙස්ට් තරගාවලි 22ක් පවත්වා ඇත. එහිදී තරගාවලි 13ක් පාකිස්තානය ජයගෙන ඇති අතර, තරගාවලි 06ක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත.
ඊයේ අවසන් වූ මෙම තරගයේ පාකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 369ක ඉලක්කයක් හිමිවූ අතර, පන්දුවාර 92.1ක් අවසනදී සියල්ලන් දැවී ඔවුන්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 230ක් පමණි.
මෙම තරගයේ සිවුවැනි දිනය වූ පෙරේදා (27දා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි පාකිස්තාන කණ්ඩායම කිසිවෙකුත් නොදැවී එක් ලකුණක් ලබාසිටියේය.
කණ්ඩායමට යම් බලාපොරොත්තු සහගත ආරම්භයක් ලබාදුන් සාමි අස්ලම් හා අසර් අලි පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 60ක් තුළදී ලකුණු 131ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වූහ. මෙහිදී සාමි අස්ලම් (91) හා නායක අසර් අලි (58) අර්ධ ශතක රැස්කරමින් දක්ෂතා දැක්වූහ.
කෙසේ නමුත් ඔවුන් දෙදෙනා දැවීයෑමෙන් අනතුරුව පාකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු තබාගත හැකි ඉනිමක් ක්‍රීඩාකළ හැකි පිතිකරුවෙකු බිහි නොවූ අතර, අවසානයේ තරගය ජය පරාජයෙන් හෝ අවසන් කිරීමට සටනක් ලබාදිය හැකි පිතිකරුවෙකු ඔවුන්ට ඉතිරි නොවුණි. පාකිස්තාන කණ්ඩායමේ ඉතිරි කඩුලු 09 පන්දුවාර 32.1ක් අවසනදී බිඳවැටුණු අතර, එම අතරවාරයේදී ඉනිමට එක්වූයේ ලකුණු 99ක් පමණි.
පසුගිය සිකුරාදා (25දා) ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම, තම පළමු ඉනිමට ලකුණු 271ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 216ක් පමණි.
ඉන් අනතුරුව යළි දෙවැනි ඉනිම ක්‍රීඩාකළ නවසීලන්ත කණ්ඩායම, පාකිස්තානයට ලකුණු 369ක ඉලක්කයක් ලබාදෙමින් සිය දෙවැනි ඉනිම ලකුණු 313/5කට අත්හිටුවීමට කටයුතු කළේය. තරගයේ වීරයා ලෙස ටිම් සවුති සම්මාන දිනාගත්තේය.
නවසීලන්තය පළමු ඉනිම 271/10 (පන්දුවාර 83.4)
ජීට් රවෙල් 55, බී.ජේ. වොට්ලින් නොදැවී 49, කොලින් ඩී ග්රැන්ඩ්හොමී 37, රොස් ටේලර් 37, සොහෙල් ඛාන් 4/99, ඉම්රාන් ඛාන් 3/52, මොහොමඩ් අමීර් 2/59
පාකිස්තානය පළමු ඉනිම 216/10 (පන්දුවාර 67)
බාබර් අසාම් නොදැවී 90, සර්ෆාස් අහමඩ් 41, සොහෙල් ඛාන් 37, අසාද් ශාෆික් 23, ටිම් සවුති 6/80, නීල් වැග්නර් 3/59
නවසීලන්තය දෙවැනි ඉනිම 313/3 (පන්දුවාර 85.3)
රොස් ටේලර් නොදැවී 102, ටොම් ලේතම් 80, කේන් විලියම්සන් 42, කොලින් ඩී ග්රෑන්ඩ්හොමී 32, ඉම්රාන් ඛාන් 3/76, වහබ් රියාස් 1/53
පාකිස්තානය දෙවැනි ඉනිම 230/10 (පන්දුවාර 92.1)
සාමි අසලම් 91, අසාර් අලි 58, සර්ෆරාස් අහමඩ් 19, මොහොමඩ් රිස්වාන් නොදැවී 13, නීල් වැග්නර් 3/57, ටිම් සවුති 2/60, මිචෙල් සැන්ට්නර් 2/49