ශ්රී ලංකා කණ්ඩායමේ 2009/10 කාලසීමාව තුළ නියෝජනය කළ තිලාන් තුෂාර වමතින් වේගපන්දු යවන තුන් ඉරියව් ක්රීඩකයෙකු ලෙසින් කණ්ඩායම තුළ රැඳී සිටියේය. 2010 වසරේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහුට කණ්ඩායමේ තාවකාලිකව ඉවතට යාමට සිදු වූ අතර, එතැන් පටන් මේ දක්වාම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ඔහුට අවස්ථාවක් නොලැබුණි. කෙසේ වෙතත් තුෂාර මේ වනවිට පළමු පෙළ තරගවලදී දක්ෂතා දක්වා තිබුණත් ඔහුට කණ්ඩායමේ අවස්ථාවක් හිමිව නොමැත.
ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව පවසන ආකාරයකට පළමු පෙළ තරගවලදී දක්ෂතා දක්වන ක්රීඩකයන්ට ජාතික කණ්ඩායමට පැමිණීමට අවස්ථාවක් තිබේ. නමුත් මේ ක්රමවේදය තිලාන් තුෂාරට අදාළ වී නොමැත. ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කළ පළමු පෙළ විස්සයි20 තරගාවලියේ දක්ෂතා දැක්වුවද තිලාන්ට කණ්ඩායමේ ස්ථානය අහිමිවූයේ සෑම දෙනාටම එක හැන්දෙන් බෙදන තත්ත්වයක් ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුවට නොමැති නිසාවෙනි.
විස්සයි තරගාවලියේදී කොළඹ ක්රීඩා සමාජය (සී.සී.සී.) නියෝජනය කරමින් තරග හයකට ක්රීඩා කරමින් ඉනිම හයක් තුළ ලකුණු 135ට කඩුලු 13ක් දවාගැනීමට තුෂාර සමත්වූයේ තරගාවලියේ වැඩිම කඩුලු ප්රමාණයක් දවාගත් ක්රීඩකයා ලෙසින් ඉදිරියට පැමිණෙමිනි. ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමන්ය 10.38කි. එවැනි තත්ත්වයක් තිබියදී පවා තුෂාර කණ්ඩායමට ඇතුළත් නොවීය. එම තරගාවලියේදී ඔහුට වඩා අඩු දක්ෂතා දැක්වූ පන්දු යවන්නන්ද ඉන්දීය සංචිතයට තෝරාගෙන තිබුණු බව විචාරකයෝ පවසති.
ශ්රී ලංකා කණ්ඩායමට වමතින් වේගපන්දු යවන්නෙකුගේ හිඩැසක් තිබෙන අතර, දක්ෂ ක්රීඩකයෙකුට එම අවස්ථාව හිමිවීම කණ්ඩායම සමබර කිරීමට කරුණකි. වමතින් වේග පන්දු යවන්නන් කිහිප දෙනෙකු පළමු පෙළ තරගවලදී ක්රීඩා කර තිබුණද ඒ සියල්ලන්ම අබිබවා දක්ෂතා දැක්වීමට තිලාන් සමත්ව තිබේ. තත්ත්වය එසේ තිබියදීත් තුෂාර කණ්ඩායමට එක්කර නොගන්නේ කුමන කරුණක් මතදැයි යන්න පිළිබඳව බලධාරීන්ගේ කරුණු විමසන ක්රිකට් විචාරකයෝ, ක්රිකට් තේරීම් කමිටුවටත් ඉහළින් සිටින අදිසි හස්තයක් බලාත්මක වී ඇත්දැයි විමසති.