එකොළොස් වැනි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය හෙට (14දා) නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාවේ දී ඇරඹෙයි. කලකට පසුව පැහැදිලි ජයග්‍රාහකයෙකු නොපෙනන තරගාවලියක් ලෙස ඇරඹෙන මෙම තරගාවලිය තියුණු තරග කීපයක්ම දැක ගත හැකි තරගාවලියක් බවට පත්වන බව පුහුණු තරගවලදී අනාවරණය විය.
ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන 'A' කාණ්ඩයේ ඇෆ්ගනිස්තානය හැර අනෙක් සියලු කණ්ඩායම් ශ්‍රී ලංකාවට තර්ජනයක් වන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ස්කොට්ලන්ත කණ්ඩායම කොදෙව්වන්ට සහ අයර්ලන්තයට එරෙහිව ක්‍රීඩා කළ ආකාරය දෙස බලන විට ශ්‍රී ලංකාවේ තත්ත්වය බරපතළය. එයට හේතුව පසුගිය මාසයක පමණ කාලයේදී ශ්‍රී ලංකාව දක්වන අසාර්ථකත්වයයි. එහෙත් පළමු වටයේ මුහුණ දෙන තරග 6 න් දෙකක් පමණක් ජයග්‍රහණය කළද අර්ධ අවසන් පූර්ව වටයට පැමිණිය හැකි වීම ශ්‍රී ලංකාවට ඇති වාසියයි. මේ තත්ත්වය නිසා හෙට ආරම්භ වන තරගාවලියේ පළමු තරගය මෙන්ම ඉදිරි සතියේ පැවැත්වෙන ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය සමග තරගද තීරණාත්මක වෙයි.
හදිසියේ යොදාගත් ඉන්දීය සංචාරයේ ප්‍රතිඵල දැන් ලැබෙමින් තිබෙන අතර ක්‍රීඩකයන් දැඩි වෙහෙසකට ලක්ව ඇති බව පැහැදිලි වෙයි. එසේම සුපුරුදු මානසික තත්ත්වයන්ට නැවත පැමිණීමට බොහෝ ක්‍රීඩකයන්ට නොහැකි වී ඇති තත්ත්වයක්ද දැක ගත හැකිය. මේ සියලු කරුණු නිසා ශ්‍රී ලංකාව සිටින්නේ පසුබෑමකය. එහෙත් මේ තරගාවලිය ජය ගැනීමට අවශ්‍ය වන්නේ කෙසේ හෝ අර්ධ අවසන් වටයට පැමිණ එක දිගට තරග 3 ක් ජයගැනීම පමණක් වීම නිසා ලෝක කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි යැයි කියන්නට බැරිය.
තරගාවලිය ඇරඹෙද්දී ඉදිරියෙන් සිටින්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි. නවසීලන්තය ඉතා හොඳ රිද්මයක සිටියද ඔවුන් අවශ්‍ය කාලයට පෙර ඉදිරියට පැමිණියාදැයි සැකයක් තිබේ. රොස් ටේලර් පසුගිය තරග කීපයේ දී සාර්ථක වීම නිසා විලියම්සන්, මැකලම් වැනි ක්‍රීඩකයන් අසාර්ථක වුවද ඔවුන්ට නැගිටීමේ අවස්ථාවක් තිබෙන බව පෙනේ. පාකිස්තානය හමුවේ ලැබූ පරාජයෙන් පසුව ඔස්ට්‍රේලියාව යථා තත්ත්වයට පැමිණ ඇති අතර, ඔවුන්ගේ රටේ දී ඔවුන් වඩාත් ප්රබලය. මේ නිසා ඔස්ට්‍රේලියාව අවසන් තරගයට ඇති අවස්ථාවද ඉහළ මට්ටමක පවතියි.
සිම්බාබ්වේ, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, ස්කොට්ලන්තය සහ අයර්ලන්තය යන කණ්ඩායම් මේ තරගාවලියේ යෝධයන්ට ප්‍රහාර එල්ල කරන කණ්ඩායම් වීමට ඇති ඉඩප්‍රස්තා වැඩිය. හේතුව වන්නේ විස්සයි විස්ස තරග ජනප්‍රිය වීමයි. මේ හරහා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට යෑමේ අවස්ථාව පිතිකරුවන්ට ලැබීම නිසා සෑම තරගයක්ම නැතිවෙන්නට දෙයක් නොමැති තරග ලෙස මේ කණ්ඩායම් ගනී. මෙය නිවැරදි රිද්මයේ නොමැති ශ්‍රී ලංකාව වැනි කණ්ඩායමකට බරපතළ ප්රශ්නයකි. මෙවැනි නැති වෙන්නට දෙයක් නොමැති කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් වන බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් 3 සිටින්නේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන කාණ්ඩයේය.
මේ නිසා 2003 ලෝක කුසලානයෙන් පසුව ශ්‍රී ලංකාව පසුපසින් සිටින කණ්ඩායමක් ලෙසින් තරගාවලියට එක්වෙයි. අවස්ථා දෙකකදී ආසන්නයටම පැමිණ ගිලිහී ගිය සංගක්කාර සහ මහේලගේ බලාපොරොත්තු ඉටුකිරීමට නම් වෙහෙස හෝ මහන්සිය, ක්‍රිකට් ආයතනයේ ප්‍රශ්න, ගෙවීම් මේ සියල්ල අමතක කර ක්‍රීඩා කිරීමට කණ්ඩායමට සිදුවෙයි. එසේ කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි අතර, ඔවුන් මෙවැනි ප්‍රධාන තරගාවලිහිදී ක්‍රීඩා කරන්නේ රට සහ තම සතුට ගැන පමණක් සිතමිනි. ඒ ධනාත්මක සිතුවිල්ලෙන් අපේ ක්‍රීඩකයන්ට ඉදිරියට යන්න ලැබේවායි යන්න අපේ පැතුමයි.
තරගාවලියේ දී ඉපිලෙන වේගවත් තණතිලි බලාපොරොත්තු වුවද ජාත්‍යන්තර තරගාවලියක් නිසා මෙහිදී ලැබෙන්නේ 50ට 50 තණතිලිය. යම් ඉපිලීමක් සහ දෝලනයක් බලාපොරොත්තු විය හැකි වුවත් නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කරන තරගයකදී ලැබෙන තණතිලි හෝ ඔස්ට්‍රේලියාව සමග ක්‍රීඩා කරද්දී ලැබෙන තණතිලි මේ තරගාවලියේ දී දැක ගත නොහැකිය. විශේෂයෙන් දකුණින් දඟ පන්දු යවන ක්‍රීඩකයෙකුට හෝ චයිනමන් පන්දු යවන්නෙකුට ඔස්ට්‍රේලියානු තණතිලිවලදී හොඳ ඉපිලීමක් ලබා ගත හැකිය. සීක්කුගේ ප්‍රසන්න ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටියා නම් වැදගත් යැයි හැඟෙන්නේ මේ නිසාය. අපේ කණ්ඩායම තමන්ගේ ශක්තිය වන දඟ පන්දු යවන්නන්ගෙන් ක්‍රීඩා කළ යුතු යැයි අපි කියන්නේ මේ නිසාය. එහෙත් තේරීම් කමිටුව එය විශ්වාස කරන සෙයක් නොපෙනෙයි. අනෙක් අතින් ඉදිරි පෙළ පිතිකරුවන්ට දෝලනය යන බිල්ලා පෙන්වා බිය ගන්වා ඇති අතර තිරිමාන්න ආරම්භක පිතිකරුවා බවට පත්කර මැද පෙළට ඔහුගෙන් ගත හැකි වාසිය අමතක කර දමා තිබේ.
කෙසේ වුවද දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ක්‍රීඩා කරන්නේ මීට වඩා වෙනස් ආකාරයකටය. කොදෙව් කණ්ඩායමද එසේය. ඔවුහු සියලු දෙනාම පන්දුවේ ස්වභාවය හෝ දෝලනය ගැන නොසිතා වැටෙන පන්දුවට පහර දෙමින් සිටිති. කොදෙව්වන් මේ ක්‍රමයෙන් අසාර්ථක වී තිබුණද කොයි මොහොතේ හරි පහර හරිහැටි වැදෙනු ඇතැයි ඔවුන්ගේ අපේක්ෂාව වී ඇතුවාට සැක නැත. එසේ පත්තු වුවහොත් සියලු අනාවැකි බොරු කරන්නට කොදෙව්වන්ට හැකිය. ගේල්, සැමුවෙල්ස්, ස්මිත්, සැමී සහ රසල් යන පිතිකරුවන් දෙදෙනෙකු ක්‍රියාත්මක වීමෙන් තරගයක් ජය ගැනීමට ඔවුන්ට හැකිය. ඔවුන්ගේ ප්රශ්නය පන්දු යැවීමයි.
එංගලන්තය අනෙක් කණ්ඩායමයි. ඔවුන්ට ඇත්තේ කොදෙව්වන්ගේ ප්රශ්නයේ අනෙක් පැත්තයි. තණතිලිවල පිහිට නොව, කාලගුණයේ පිහිටෙන් පන්දුව දෝලනය කරන්නටත් සීමයේ උපරිමය ගන්නටත් හැකි පන්දු යවන්නන් සිවු දෙනෙකුගෙන් ක්‍රීඩා කරන එංගලන්තයේ පිතිකරුවන් නිවැරදිව ක්‍රියාත්මක වුවහොත් ඔවුන් කුසලානය දිනාගැනීමට දැනටමත් අත තබා ගෙන සිටින කණ්ඩායම් පරදවා ඉදිරියට පැමිණීමට සමත්ය. ඉතා හොඳ විවේකයක් ලබා මේ තරගාවලියට පිවිසෙන වයස අවුරුදු 40 නායකයා වන මිස්බාගේ පාකිස්තානු කණ්ඩායම බොහෝ දෙනා කැට නොතබන අනෙක් කණ්ඩායමයි. ඔවුන් එංගලන්තයට එරෙහි තරගය ක්‍රීඩා කළ ආකාරයට සැලසුමක් සහිතව ක්‍රීඩා කරන බව පෙනේ. අජ්මාල්, ජුනයිඩ් ඛාන් සහ මොහොමඩ් හෆීස් නොමැති වීම ඔවුන්ට අති විශාල පාඩුවක් වුවද තරුණ ක්‍රීඩකයන් සමග මිස්බා උපරිම සටනක් දෙන බව පෙනේ. උමාර් අක්මාල් ඔවුන්ගේ තීරණාත්මක සාධකය වන බව පෙනෙන්නට තිබේ.
ලෝක ශූරයන් වන ඉන්දියාව නොසිතූ ආකාරයෙන් පසුබැස සිටින්නේ මහේන්ද්‍ර සිං දෝනිගේ දුර්වලතා නිසාය. ඔවුන්ටද වෙනසක් කළ හැකි පන්දු යවන්නෙකු නොමැත. මේ තත්ත්වය මත කණ්ඩායමේ සම්පූර්ණ බර විරාට් කෝලි සහ අජ්යාන්කේ රහානේ මත පැටවී තිබේ. DRS ක්‍රමය ක්‍රියාත්මක වීමත් ඔස්ට්‍රේලියාවේ තණතිලිවල ඇති ඉපිලීම අනුව තීරණ ගැනීමේ පුරුද්දක් නොමැති වීමත් ඉන්දියාව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න වෙයි. මේ තත්ත්වයෙන් මිදෙන්නට ඉන්දියාවද බුවනේෂ්වර් කුමාර් සහ දඟ පන්දු යවන්නන් දෙසට යොමුවීම අත්‍යවශ්‍ය වී තිබේ. එහෙත් ඔවුන්ද ශ්‍රී ලංකාව මෙන් වේග පන්දු යවන්නන්ගෙන් තරග දිනාගැනීමේ උත්සාහයකට යොමු වී තිබේ. මේ කණ්ඩායම් දෙකෙන් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින්නේ මැතිව්ස් නිසාය. මැතිව්ස්ගේ වේගයෙන් නිවැරදි එල්ලයට පන්දු යවන, පන්දුවට පහර දීමේදීද සාර්ථකත්වයක් උසුලන ක්‍රීඩකයෙකු ඉන්දියාවට තවමත් නැත. සිටින එකම ක්‍රීඩකයා ස්ටුවර්ට් බිනීය. බිනී නිවැරදිව ක්‍රියාත්මක වුවහොත් එය ඉන්දීය කණ්ඩායමේ ශක්තිය 25% කින් ඉහළ නංවන්නකි. මේ නිසා ඉන්දියාවේ සැඟවුණු තුරුම්පුව විය හැක්කේ බිනීය.
අවසානයකට පැමිණෙන්නේ නම් 1. දකුණු අප්‍රිකාව 2. ඔස්ට්‍රේලියාව 3. නවසීලන්තය 4. පාකිස්තානය ලෙස වර්ග කළ හැකිය. එහෙත් ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව් සහ එංගලන්තය කිසිසේත්ම පසුපසින් නැත. ප්‍රධාන කණ්ඩායම් 8 ම ඕනෑම මොහොතක ගියර වෙනස් කළ හැකි කණ්ඩායම්ය. එහෙත් කඩුලු 5 ක් වැටුණා කියා තරගයක් අත් නොහරින දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඉදිරි පෙළින් සිටියි. ඒ පසුපෙළ පිතිකරුවන්ගේ දක්ෂතා නිසාය. පෙර කියූ ලෙස සිම්බාබ්වේ, ස්කොට්ලන්තය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය තවත් මානයක් තරගාවලියට එක් කරයි. ඒ අනුව තරගාවලිය ගැන අවසානයේ ලියා තැබිය හැක්කේ පැහැදිලි ශූරයෙකු නොදැක ඇරඹෙන තරගාවලියක් කියාය. එසේම මෙතෙක් පැවැති තරගාවලි අතරින් වැඩිම තියුණු තරග ප්‍රමාණයක් බලාපොරොත්තු විය හැකි තරගාවලියක් ලෙසද මෙම තරගාවලිය හැඳින්විය හැකිය.