ශ්‍රී ලංකා කණ්ඩායමට තවම ස්ථිර පිතිකරණ අනුපිළිවෙළක් (batting order) නොමැති බවත්, මෙම තරගයෙන් පසු ඒ පිළිබඳව තීරණයක් ගැනීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (28දා) ආරම්භවන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිව්ස් ඊයේ (27දා) මේ බව පවසා සිටියේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් හෙතෙම පවසා සිටියේ, පසුගිය තරග දෙකේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට අභියෝගයක් වූ රවිචන්ද්‍රන් අශ්වින් ගැන වැඩි අවධානයක් මෙම තරගයේදී යොමුකරන බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායකයා,
"කුමාර් සංගක්කාරගේ විශ්‍රාම ගැනීමෙන් පස්සෙ කණ්ඩායමේ සිටින අනෙක් සියලුම ක්‍රීඩකයන් ගොඩක් ටෙස්ට් තරග ක්රීඩාකරලා නැහැ. එමනිසා අපිට සංගක්කාර හා මහේල ජයවර්ධන යන ක්‍රීඩකයන් දෙදෙනාගේ අඩුව පුරවන්න සෑහෙන කාලයක් ගතවෙයි. නමුත් මම හිතනවා දැන් ඉන්න ක්‍රීඩකයන්ට ඒ අඩුව පුරවන්න ඉදිරියේදී හැකිවෙයි. ඒ වගේම අපට තාම ස්ථිර පිතිකරණ අනුපිළිවෙළක් නැහැ. ඒ පිළිබඳවද තීරණයක් මෙම තරගයෙන් පසුව ගැනීමට බලාපොරොත්තු වෙනවා".
කුමාර් සංගක්කාර වෙනුවට උපුල් තරංග අද කණ්ඩායමට කැඳවන බව මැතිව්ස් මෙහිදී ස්ථිර වශයෙන්ම පවසා සිටියේය. කෙසේ නමුත් අනෙකුත් ආදේශනයන් පිළිබඳ සාකච්ඡා කර ඇතත් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බව පවසා සිටියේය.
"සංගක්කාරගේ ස්ථානයට අනිවාර්යයෙන් උපුල් තරංග පැමිණෙනවා. ඔහු ක්‍රීඩාකළ අවසන් තරගයේදී තරංග ලකුණු අතර සිටියා. සංගක්කාර පැමිණි නිසයි ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමි වුණේ. නමුත් කණ්ඩායමේ අනෙකුත් ආදේශ කිරීම් ගැන අවසන් තීරණයක් තවම ගෙන නැහැ".
පසුගිය තරග දෙකේ ඉන්දීය පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිතිකරුවන්ට අභියෝගයක් වුවත් මෙම තරගයේදී කණ්ඩායමේ එකම අරමුණ ඔවුන්ට එරෙහිව සාර්ථකවීම බව ශ්‍රී ලංකා නායකයා මෙහිදී පවසා සිටියේය.
"මොන පන්දු යවන්නා පන්දු යැව්වත් අපේ අරමුණ ඔවුන්ට එරෙහිව ලකුණු රැස්කිරීම. අපේ පිතිකරුවන් එක්ක මේ ගැන සාකච්ඡා කළා. පසුගිය තරග දෙකේ ආර්. අශ්වින් හා අමිත් මිශ්රා හොඳින් පන්දු යැව්වා. එමනිසා ඔවුන්ට හොඳින් මුහුණදෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉන්දීය වේගපන්දු යවන්නන්ද හොඳින් ඔවුන්ගේ වගකීම් ඉටුකරවා".
ජෙහාන් මුබාරක් වෙනුවට කුසල් ජනිත් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමේ තීරණයක් ගෙන තිබෙනවා දැයි කළ විමසීමට පිළිතුරු දුන් ශ්‍රී ලංකා නායකයා පවසා සිටියේ, ඒ සියලු තීරණ ගැන සාකච්ඡා කර තිබෙන බවත් ඒ ගැන අවසන් තීරණයක් ඊයේ (27දා) සන්ධ්‍යාවේ ගන්නා බවයි. කෙසේ නමුත් තරිඳු කෞෂාල්ගේ ආබාධයක් තිබෙන බව මැතිව්ස් මෙහිදී අනාවරණය කර සිටි අතර, ඔහු අද තරගයට ක්‍රීඩාකරනවාද නැද්ද යන්න භෞත චිකිත්සකවරයා තීරණය කරන බව පවසා සිටියේය.
ඊට අමතරව ආබාධයක් හේතුවෙන් පසුගිය තරගය අහිමි වූ නුවන් ප්‍රදීප් මේ වනවිට සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බව පවසා සිටියේය.