සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03කින් යුතු විස්සයි20 තරගාවලියේ පළමු තරගය අද (26දා) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී ආරම්භ වීමට නියමිතය. පාකිස්තානය සමග ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගත්තද එක්දින තරගාවලිය තරග 5-0ක් ලෙස ‘වයිට් වොෂ්’ (පූර්ණ තරගාවලි පරාජයක්) වීමෙන් සුදු පන්දුවේ තරගවලදී ශ්‍රී ලංකා අසාර්ථකත්වයට තවමත් පිළියමක් සොයාගෙන නොතිබීම ගැටලුවකි. ඒ මන්දයත් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගවලදී මෙන්ම විස්සයි20 තරගවලදීද මෙම වසර තුළදී අසාර්ථකත්වයකට පත්ව ඇති හෙයිනි.
කෙසේ වෙතත් විස්සයි20 පිටියේදී ශ්‍රී ලංකාව පාකිස්තානය හමුවේ අසාර්ථකව තිබීමද මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවට බලවත් පාඩුවකි. පැවති තරග 15කින් පාකිස්තානය තරග 10ක් ජය ගනිද්දී ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ තරග 05ක ජය පමණි. එමෙන්ම මෙම වසර තුළදී මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි20 තරග 09කට මුහුණ දී ඉන් තරග 05ක් ජයගෙන තරග 04ක් පරාජයට පත්ව තිබේ. වසර ආරම්භයේදී දකුණු අප්‍රිකාවට සහ ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග 2-1ක් ලෙස විස්සයි20 තරගාවලි ජයගත්තද බංග්ලාදේශයට එරෙහිව තරග 1-1 ලෙසද ඉන්දියාවට එරෙහිව තිබූ එකම තරගය පරාජයටද පත්ව තිබුණි. එනිසා මෙම වසර මුල් භාගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි20 තරග දක්ෂතා කැපී පෙනුණද එය අඛණ්ඩව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත්ව ඇත.
වැලිකතරේ ආරම්භ වන මෙම තරගාවලියේ අවසන් තරගය පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැත්වීමට සූදානම්ව ඇති පසුබිමක ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පාකිස්තානයට යාම ප්‍රතික්ෂේප කිරීම නිසා තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු තරුණ කණ්ඩායමක් මෙම තරගාවලියට නම් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. එහෙත් අවසන් වරට ඉන්දියාව සමග පැවති විස්සයි20 තරගයට සහභාගි වූ කණ්ඩායමේ ක්‍රීඩකයන් 06 දෙනෙකු (තිසර පෙරේරා, ඩිල්ශාන් මුණවීර, සීක්කුගේ ප්‍රසන්න, අශාන් ප්‍රියන්ජන්, දසුන් ශානක, ඉසුරු උදාන) මෙම තරගාවලියට එක්වීම සුවිශේෂීය. පාකිස්තානු කණ්ඩායමට වඩා අත්දැකීම් අතින් ශ්‍රී ලංකාව ගව් ගණනක් ඈතින් සිටියද පාකිස්තානය අධ්‍යනය නොකළ තරුණ ජවයෙන් ශ්‍රී ලංකාව සමන්විත හෙයින් ඕනෑම දෙයක් මෙම තරගාවලියේදී සිදුවිය හැකිය. ඊට හේතුව මෙය විස්සයි20 තරගාවලියක් වන හෙයිනි.
මෙම තරගාවලියට පසුගිය ඉන්දීය විස්සයි20 තරගයට සහභාගි නොවුණු මිනෝද් භානුක, චතුරංග ද සිල්වා, විශ්ව ප්‍රනාන්දු, ළහිරු ගමගේ, ධනුෂ්ක ගුණතිලක, සචිත් පතිරණ, සදීර සමරවික්‍රම, විකුම් සංජය, මහේල උඩවත්ත සහ ජෙෆ්රි වැන්ඩසේ කැඳවා තිබේ. එනිසා මෙම තරගාවලිය ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන නව ආරම්භයක් බවට පරිවර්තනය කරගැනීමට තරුණ ක්‍රීඩකයන් වගබලාගත යුතුය. මෙහිදී එක්දින තරගවල මෙන්ම විස්සයි20 තරගවලදීද කණ්ඩායමේ ස්ථානයක් සොයනා අශාන් ප්‍රියන්ජන්ට සහ දසුන් ශානකට මෙම තරගාවලිය ලැබෙන අවසන් අවස්ථාව වුවද විය හැකි හෙයින් ඔවුන් දෙදෙනා තරග දිනවන ක්‍රීඩකයන් බව මෙම තරගාවලියේදී ඔප්පු කර පෙන්විය යුතුය. එක් අතකින් මෙම තරගාවලියේ නායකත්වයට පත්වූ තිසර පෙරේරාටද මෙය වලංගු වනවා ඇත.
පාකිස්තානු කණ්ඩායම විස්සයි20 තරගවලදී සිය උපරිම දස්කම් පෙන්වන රටක් ලෙස ප්රකටය. එනිසා ඔවුන්ගේ පිතිකරණය මෙන්ම පන්දු යැවීමෙදීද සාර්ථක වීමට ඉඩ ලබාදෙන පළමු අවස්ථාවේදීම ඔවුන් එහි උපරිම ප්‍රයෝජන ගනු නිසැකය. දීර්ඝ පිතිකරණ නාමාවලියකට හිමිකම් කියන පාකිස්තානයේ ශක්තිය වනුයේ ඔවුන්ගේ ශක්තිමත් මැදපෙළයි. එනිසා මැදපෙළින් ගලා එන ලකුණු නැවතීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වග බලා යුතුය. එමෙන්ම මොහොමඩ් ආමීර්, හසන් අලි, උස්මාන් කාන්, රුමාන් රයීස් යන වේග පන්දුවටත් ෂදාබ් කාන්, ඉමාඩ් වසීම්, මොහොමඩ් හෆීස් සහ ෂොයෙබ් මලික් යන දඟපන්දුවටත් ඉක්මනින් කඩුලු ලබා නොදීමට පරිස්සම් විය යුතුය.
මේ වනවිට පාකිස්තානය ජාත්‍යන්තර විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි අංක 02 ස්ථානය (ප්‍රසාද ලකුණු 121) තහවුරු කරගෙන ඇති අතර, ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ එහි 08 වැනි (ප්‍රසාද ලකුණු 93) ස්ථානයයි. එනිසා පාකිස්තානය ජාත්‍යන්තර විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි අංක 01 දිනාගැනීමට කළ හැකි සියලු සැලසුම් මෙම තරගාවලියේදී සිදු කරනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමට නැතිවන්නට දෙයක් නොමැති හෙයින් මෙම තරගාවලිය තරුණ ජවයෙන් නැගී සිටින අලුත් ආරම්භයක් ලබා ගැනීම දක්වා පරිවර්තනය කර ගත යුතුය.