2004 වසරේදී ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වීමෙන් පසුව පැවති කිසිදු ටෙස්ට් තරගයක් ශ්‍රී ලංකාව පරාජයට පත්නොවූ එස්.එස්.සී. පිටියේදී අද (24දා) දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙයි. එම කාලයේදී තරග 12කදී ජයග්‍රහණ 06 ක් ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. තරග 06 ක් ජය පරාජයෙන් තොරව නිමා වී තිබේ. මේ ජයග්‍රහණ අතර දකුණු අප්‍රිකාව දෙවරක්ම පරාජය කරන්නටද ශ්‍රී ලංකාවට හැකිව තිබේ. එහෙත් මේ තරගය පැවැත්වෙන්නේ ගාල්ලේදී ශ්‍රී ලංකාව පරාජය කළ ලෝකයේ අංක දෙකේ කණ්ඩායම සමගය. අනෙක් අතින් මේ පිටියේ අවසන් වතාවට පැවති ටෙස්ට් තරග තුනම ජයපරාජයෙන් තොරව නිමාවීමද ශ්‍රී ලංකාව සැලකිල්ලට ගත යුතුය.තරගය ජයපරාජයෙන් තොරව නිමකිරීමේ තේරුමක් නොමැත. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය විය යුත්තේ ජයග්‍රහණයයි.
ශ්‍රී ලංකාව මේ තරගයට එන්නේ කුමන කණ්ඩායම සමගද යන්න ගැන තවමත් සැකයක් පවතී. එහෙත් අනිවාර්යයෙන්ම ශමින්ද එරංග වෙනුවට ධම්මික ප්‍රසාද් හෝ අජන්ත මෙන්ඩිස් ක්‍රීඩා කරනු ඇත. මෙන්ඩිස් ක්‍රීඩා කිරීම තණතිල්ලේ ස්වභාවය මත තීරණය වනු ඇත. මේ පිටියේදී පසුගිය තරගවලදී දැකගත හැකි වූ ප්‍රධාන ලක්ෂණය වන්නේ සිවුවැනි ඉනිමේ පහසුවෙන් ලකුණු රැස්කරන්නට හැකිවීමයි. ගාල්ලේදී ශ්‍රී ලංකාව කාසියේ වාසිය පරාජය වීම විශාල ප්‍රශ්නයක් විය. එහෙත් වෙනදා ආකාරයෙන් තණතිල්ල හැසිරෙන්නේ නම් කාසියේ වාසිය පරාජයට පත්වූවා කියා විශේෂ හානියක් නැත. කෙසේ වුවත් තණතිල්ල සකසන්නන් දඟපන්දු යවන්නන්ට හිතකර තණතිල්ලක් නිර්මාණය කරන්නේ නම් පළමුව පන්දුවට පහරදීම වැදගත්ය. එසේම වෙනදා දක්නට ලැබෙන දඟකැවී සෙමින් පන්දුව පැමිණීම වෙනුවට වේගවත් බවක් ලැබෙයි නම් දඟපන්දු යවන්නන් තිදෙනෙකු ක්‍රීඩා කිරීම වාසියක් වනු ඇත.
පළමු ටෙස්ට් තරගයේදී අතපසුවීම් කීපයක්ම විය. පළමු වැන්න නම් කුමාර් සංගක්කාර ඉනිම් දෙකේදීම ඉතා පහසු පන්දුවලින් දැවී යාමය. අනෙක් කරුණ මහේල ජයවර්ධන ලකුණු අතරට නොපැමිණීමය. මේ කරුණු දෙක විශාල ලකුණු ගණනක් යෑමට බලපෑ ප්‍රධාන සාධක විය. අනෙක් අතින් ආරම්භක පිතිකරුවන් දෙදෙනා විශාල ලකුණු ගණනකට ගියේ නැත. ඔවුන් දෙදෙනා ඉනිම් දෙකේදී ලකුණු රැස්කළද දෙදෙනා එකම ඉනිමකදී වැඩි ලකුණු රැස් නොකිරීම ප්‍රශ්නයක් විය.
දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන් කණ්ඩායම් දෙක අතර ප්‍රධාන වෙනස විය. එය අද තරගයේදීද වෙනස් වන්නේ නැත. මේ නිසා ශ්‍රී ලංකා පිතිකරුවන් පළමු තරගයට වඩා දැඩි කැපවීමකින් මේ තරගයේදී ක්‍රීඩා කළ යුතුව තිබේ. නොඑසේ නම් මේ තරගයද පරාජය වීමට ඇති ඉඩ වැඩිය. දකුණු අප්‍රිකාවට එරෙහිව ලෝක වාර්තාවක් තබන්නට සංගක්කාර සහ මහේල මේ පිටියේදී සමත් විය. මෙවර ලෝක වාර්තාවක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ තරගය ජයග්‍රහණය කිරීමයි. මහේල සහ සංගක්කාර මෙන්ම ඇන්ජලෝ මැතිව්ස්ටද සහායක් අවශ්‍යය.
පන්දු යවන්නෙකු ලෙස ගාල්ල තරගයේදී ඉදිරියෙන්ම සිටි දිල්රුවන් පෙරේරාගෙන් පිතිකරුවෙකු ලෙස ලකුණු අවශ්‍ය කර තිබේ. එය අසාධාරණ ඉල්ලීමක් වුවත් වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේදී අංක 08 පිතිකරුවාගෙන් ලකුණු අත්‍යවශ්‍යය. අද තරගයේදී එයද ඉටුවන්නේ නම් වැදගත්ය.
එංගලන්තයට යවනවා කියූ චන්දිමාල් ඊයේ පුහුණු වෙයි
ශ්‍රී ලංකා තේරීම් කමිටුව නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කිරීමට තීරණය කළ බවත් දිනේෂ් චන්දිමාල් එංගලන්තයේ සිටින ශ්‍රී ලංකා 'ඒ'කණ්ඩායම සමග එක්වන බවත් පසුගිය අඟහරුවාදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය. එහෙත් ඊයේ දිනයේ දී චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායම සමග පුහුණුවීම්වල යෙදුනි. ශ්‍රී ලංකා නායකයා පැවසුවේ ක්‍රීඩා කරන්නේ කවුරුද යන්න තීරණය කරන්නේ අද (24) උදෑසන බවයි.
මැතිව්ස් පවසන්නේ ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ තීරණයයි. ඒ අනුව තණතිල්ල දෙස බලා පන්දු යවන්නන් සහ පිතිකරුවන් පමණක් නොව කණ්ඩායමේ කඬුළු රකින්නා ද තෝරා ගන්නා ලොව පළමු රට ලෙස ශ්‍රී ලංකාව ඉතිහාස ගතවනු ඇත. චන්දිමාල් එංගලන්තයට යැවීමට තීරණය කළා නම් ඔහුව එංගලන්තයට ඉක්මනින්ම යැවිය යුතුය. එහෙත් ඔහු අද දිනය ආරම්භය දක්වා තබා ගන්නේ තේරීම් කමිටුව උභතෝකෝටිකයක සිටින නිසා බව පැහැදිලිය. චන්දිමාල් කපා දැමීමට ගත් තීරණය හරහා මතුවන අනෙක් ගැටලු ගැන නොසිතූ තේරීම් කමිටුව දැන් වරද හදා ගන්නට උත්සාහ කරනවාදැයි සැක සිතේ. කෙසේ වුවද චන්දිමාල් මෙන්ම අසාර්ථක තිරිමාන්නටද කණ්ඩායමේ ස්ථානය අහිමි වීමෙන් හෝ දෙදෙනාටම ස්ථාන හිමිවීමෙන් සාධාරණයක් ඉටුවන්නේ දැයි අපට අද උදෑසන බලා ගත හැකිය.