ඔස්ට්‍රේලියාවට එරෙහිව 28 දා දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින තරගයෙන් පසුව තමන් එක්දින පිටියෙන් සමුගන්නා බවත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ප්‍රේමදාස පිටියේදී සැප්තැම්බර් 09දා පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි20 තරගයෙන් පසුව විස්සයි20 පිටියට සමුදෙන බවත් ඩිල්ෂාන් පැවැසීය.
2013 වසරේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ මාර්තු මස 16-19 දා දක්වා පැවැති ටෙස්ට් තරගයෙන් පසුව ඩිල්ෂාන් ටෙස්ට් පිටියට සමුදුන්නේය.
1999 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින වරම් හිමිකරගන්නා ඩිල්ෂාන් ඊයේ ඔස්ට්‍රේලියාව හා පැවැති එක්දින තරගය තෙක් එක්දින තරග 329ට ක්‍රීඩා කර තිබේ. ඔහුගේ වැඩිම එක්දින ලකුණු ප්‍රමාණය 161ක් වන අතර ශතක 22ක් ඔහු ලබාගත් ලකුණු 11868ට ඇතුළත් වෙයි එක්දින පිටියේ වැඩිම ලකුණු ලාභීන් අතර 11 වැනි ස්ථානය ඩිල්ෂාන්ට හිමිව තිබේ. ඔහුගේ එක්දින සාමාන්‍ය 39.26කි.
එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ 10 වැනි ස්ථානයේ පසුවෙන ඩිල්ෂාන් තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු ලාභීන් අතර 4 වැනි ස්ථානය ඩිල්ෂාන්ට හිමිව තිබේ.
2006 වසරේදී එංගලන්තයට එරෙහිව විස්සයි20 වරම් හිමිකරගන්නා ඩිල්ෂාන් මේ දක්වා විස්සයි20 තරග 78ට ක්‍රීඩා කර තිබේ. ඔහු ලකුණු 1884ක් රැස්කර තිබෙන අතර විස්සයි20 පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයන් අතර ඔහුට හිමිවන්නේ දෙවැනි ස්ථානයයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි20 ලකුණු ප්‍රමාණයක් රැස්කර ඇත්තේ ඩිල්ෂාන්ය.
ඩිල්ෂාන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකුද වෙයි. ඩිල්ස්කූප් පහර ලෝකයට හඳුන්වා දුන් පිතිකරුවා වන්නේද ඩිල්ෂාන්ය.