ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන ඩයලොග් අන්තර් සමාජ ලීග් පාපන්දු තරගාවලියේ 2014/15 තරගවාරයේ ශූරතාව දිනාගැනීමට අනුරාධපුර සොලීඩ් ක්රීඩා සමාජය සමත්විය. තරගාවලිය නිමාවීමට තවත් තරග කිහිපයක් ඉතිරිව තිබියදී ඔවුන් මෙම ජයග්රහණය හිමිකරගැනීම විශේෂත්වයකි.
කැලණිය පාපන්දු ක්රීඩාංගණයේ පැවැති සෝන්ඩර්ස් ක්රීඩා සමාජයට එරෙහි තරගය ගෝල 1-0 ක් ලෙස ජයගැනීමත් සමග ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ සොලීඩ් කණ්ඩායමට තහවුරු විය. මෙම තරගය ජයපරාජයෙන් තොරව අවසන් අවසන් කරගැනීමද ඔවුන්ට මෙවර ශූරයන් වීමට ප්රමාණවත්ව තිබුණි.
මෙම තරගාවලියට සමස්ත තරග 210 ක් අන්තර්ගත අතර, ඉන් පසුගිය සිකුරාදා (23දා) වනවිට තරග 197 ක් පවත්වා අවසන් විය. එම තරග අතරින් සොලීඩ් කණ්ඩායම තරග 20කට මුහුණදී එයින් තරග 15 ක් ජයගෙන ඇත. ඊට අමතරව තරග 02 ක් පරාජය වී ඇති අතර, තරග 03 ජයපරාජයෙන් තොරව අවසන් කරගෙන ඇත. ඔවුන්ට යම් තරමක හෝ අභියෝගයක් එල්ල කළ නිගම්බු යූත් කණ්ඩායම මෙහි දෙවැනි ස්ථානයේ රැඳී සිටින අතර, ඔවුන් තරග 20කට මුහුණදුන් අතර, ඉන් ජයගැනීමට හැකිවූයේ තරග 12 ක් පමණි. තරග 05ක් ජයපරාජයෙන් තොරව අවසන් වූ අතර, ඉතිරිය පරාජය විය. තරග 19කට සහභාගීවී ඉන් තරග 12 ක් ජයගෙන ඇති යුද හමුදා ක්රීඩා සමාජය මෙහි තෙවැනි ස්ථානයේ පසුවෙයි. ඔවුන් තරග 04 ක් පරාජයවී ඇති අතර, තරග 03 ක් ජයපරාජයෙන් අවසන් කරගෙන ඇත.
මෙම තරගාවලිය කණ්ඩායම් 21 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර, එහි පළමු ස්ථාන 10 තුළ පිළිවෙළින් කොළඹ පාපන්දු සමාජය (4), නාවික හමුදා (5), බ්ලූ ස්ටාර් (6), සුපර් සන් (7), රිනවුන් (8), කඳුරට සිංහ (9) හා නිව් යන්ග් (10) ක්රීඩා සමාජ පසුවෙයි.
ඊට අමතරව සෙසු ස්ථානවල නන්දිමිත්ර (11), ගුවන් හමුදා (12), ජාවා ලේන් (13), පෙලිකන්ස් (14), ක්රිස්ටල් පැලස් (15), දොන් බොස්කෝ (16), මාතර සිටි (17), සෝන්ඩර්ස් (18), පොලිස් (19), තිහාරිය යූත් (20) හා කළුතර පාර්ක් (21) යන ක්රීඩා සමාජ පසුවෙයි.