බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා තමාට ලැබී ඇති කණ්ඩායම පිළිබඳව සෑහීමකට පත්වන බවත්, ටෙස්ට් තරගාවලිය අභියෝගාත්මක තරගාවලියක් බවත් වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක රංගන හේරත් පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ, ඊයේ (28දා) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැති තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදීය.
එමෙන්ම තරගාවලිය ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම ශ්‍රී ලංකාවට ඇති වාසියක් බවත්, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් හා එක්දින තරග ක්‍රීඩා කළ චන්දික හතුරුසිංහ හා තිලාන් සමරවීරගේ අත්දැකීම් මෙම තරගාවලිය තුළ බංග්ලාදේශය උපරිම වශයෙන් භාවිත කරනු ඇති බවත් ඔහු එහිදී පවසා සිටියේය.
"අපේ ක්‍රීඩකයන් උපරිම දක්ෂතා දැක්වුවහොත් අපිට මෙම තරගාවලිය ජයගන්න පුළුවන් වේවි. විශේෂයෙන් කණ්ඩායමට තවත් වමත් දඟපන්දු යවන්නෙකුත් පැමිණ තිබෙනවා. ඔහු පළමුපෙළ තරගාවලියේදී කඩුලු 500කට වඩා දවාගත් ක්‍රීඩකයෙක්. ඔහුට මෙම තරගාවලියේදී නැතිවුණත් ඉදිරි තරගවලදී අවස්ථාව ලැබේවි.
මෙම තරගාවලිය අපි බැලිය යුතුයි, අපේ ශක්තිය වැඩිකරගන්න. අපි හරිදේවල් කළොත් තරගාවලිය ජයගත හැකිවේවි. මෙම තරගාවලියට පිතිකරුවන් 07ක් නම් කරලා තිබෙන්නෙ ක්‍රීඩකයන්ගේ දක්ෂතා අනුවයි. පසුගිය ඔස්ට්‍රේලියානු තරගාවලියේදීත් මේ ක්‍රීඩකයන් ලකුණු අතර සිටියා. ටෙස්ට් තරගාවලියට තවත් දවස් 06ක් පමණ තිබෙනවා. ඒනිසා කණ්ඩායමේ සංයුතිය පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කර තීරණයක් ගන්නවා. විශේෂයෙන් ඇන්ජිලෝ මැතිව්ස් කණ්ඩායමට නොමැති වීම ලොකු පාඩුවක්. අපිට මෙම තරගාවලිය ලොකු අභියෝගයක් වේවි" යැයි ශ්‍රී ලංකා නායකයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.
මෙම මාධ්‍ය හමුවේදී බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් නායක මුෂ්ෆිකර් රහීම් සඳහන් කර සිටියේ, තරගාවලිය ජයගැනීමට අවශ්‍ය සියලුම සැලසුම් ක්‍රියාවට නංවන බවයි.
“අපි මීට පෙර ශ්‍රී ලංකාවේ සංචාරය කරද්දී කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට හිටියා. නමුත් මේ වනවිට අපේ කණ්ඩායමෙත් දක්ෂතා හා අත්දැකීම් බහුල ක්‍රීඩකයන් සිටිනවා. අපි දන්නවා අපිට මෙම අභියෝගය පහසු අභියෝගයක් නොවෙයි. එහෙත් අපි බලාපොරොත්තු වෙනවා මෙම අභියෝගය ජයගැනීමට, ඊට ඉතා හොඳින් සැලසුම් සහගතව මුහුණ දීමට. අපේ කණ්ඩායමේ මේ වනවිට දියුණු වීම් රාශියක් දැකගන්න පුළුවන්. ඒ නිසා අපි විශ්වාස කරනවා අපිට සාර්ථක තරගාවලියක් නිමා කිරීමට හැකි වේවි කියලා" යැයි රහීම් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඡායාරූප - ක්‍රිශාන් රණසිංහ