දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ ශතකයක් රැස්කළ පළමු කළු ජාතික පිතිකරුවා වීමට ටෙම්බා බවුමාට ඊයේ (06දා) හැකිවිය.
සංචාරක එංගලන්ත කණ්ඩායම සමග කේප් ටවුන්හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී බවුමා නොදැවී ලකුණු 102 ක් රැස්කරමින් මෙම දක්ෂතාව දැක්වීය.පන්දු 148කදී ගොඩනැගුණු ටෙම්බාගේ ඉනිමට හතරේ පහර 16 ක් අන්තර්ගත විය.
ඉකුත් සෙනසුරාදා (02දා) ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 629/6 ක් රැස්කර ඉනිම අත්හිටවූ අතර, ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 627/7 ක් රැස්කර ඉනිම අත්හිටුවීය. නැවතත් තම දෙවැනි ඉනිම ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායම ඊයේ (05දා) දිනට තරගය නතරකරන විට කිසිවෙකුත් නොදැවී ලකුණු 16 ක් රැස්කරගෙන සිටියේය.
කළු ජාතිකයන් නොසලකා හැරීමේ වර්ණභේදය නිසා 1971 වසරේදී දකුණු අප්‍රිකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පැනවූ අතර, එම දරදඩු ප්‍රතිපත්තිය හකුලා ගැනීමෙන් පසු නැවත එම තහනම 1992 වසරේදී ඉවත්කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කළ අතර, එතැන් පටන් කළු ජාතික ක්‍රීඩකයන්ටද එරට ජාතික කණ්ඩායමට ක්‍රීඩාකිරීමට අවස්තාව උදාවිය.
කෙසේ නමුත් තත්ත්වය එසේ වුවත් දකුණු අප්‍රිකාව වෙනුවෙන් එතෙක් මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනූ කළු ජාතික ක්‍රීඩකයන් සිටින්නේ අතළොස්සකි. කලින් කලට ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේ නම් ඒ එක් ක්‍රීඩයෙකු පමණි. නැතිනම් 12 වැන්නා ලෙස වතුර අදින ක්‍රීඩකයෙකි. දකුණු අප්‍රිකාව නියෝජනය කළ කළු ජාතික පන්දු යවන්නන් සිටියත්, පිතිකරුවන් ඇත්තේ සීමිත ගණනක්ය.
එවැනි තත්ත්වයක් තුළ බවුමාගේ මෙම ඉනිම කළු දකුණු අප්‍රිකානුවන්ට අලුත් වටිනාකමක් එක්කරනු ඇත. බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 2014 වසරේ දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනූ ටෙම්බා බවුවා මේ වනවිට (එංගලන්ත - දකුණු අප්‍රිකා දෙවැනි තරගය නොමැතිව) ටෙස්ට් තරග 06කට (ඉනිම් 07) ක්‍රීඩාකර ඇත.