ශ්‍රී ලංකා පාපන්දු සංචිතයේ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සංචිතයට තෝරා නොගත්තේ ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව හා දස්කම් පිළිබඳව සෑහීමට පත් නොවුණු නිසා යැයි පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා කළ ප්‍රකාශයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් අදට ප්‍රතිචාර දැක්වූහ.
ඔවුන් වත්මන් සභාපතිවරයාගේ එම ප්‍රකාශය එකහෙළාම ප්‍රතික්ෂේප කළ අතර, ඔවුහු සභාපතිවරයාට අභියෝගයක්ද සිදුකළහ. එනම් වත්මන් පාපන්දු සංචිතයට හා ඉවත්කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් සංචිතයක් අතර පාපන්දු තරගයක් පවත්වා හැකිනම් සභාපතිවරයාගේ එම ප්‍රකාශය සත්‍යයක් බවට ඔප්පු කර පෙන්වන්නැයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ අභියෝග කරති.
එමෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කණ්ඩායමෙන් ඉවත් කළේ ශාරීරක යෝග්‍යතාව හෝ දස්කම්වලට ගැටලුවක් නිසා නොව පාපන්දු පරිපාලනයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට වැටුප් ගෙවීමේ අර්බුදයක් පැනනැගී ඇති නිසා යැයි ඔවුහු පරිපාලනයට චෝදනා කරති.
කෙසේ වෙතත් වත්මන් පාපන්දු පරිපාලනය හා තේරීම් කමිටු සාමාජිකයන් සංචිතයට තේරීම් සිදුකිරීමේදී ක්‍රීඩා අමාත්‍යාංශ රෙගුලාසි උල්ලංඝනය කර ඇතැයිද ඔවුහු පවසති. එහිදී ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සිදුකළ පරීක්ෂණය (Test) අනුව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ව ජාතික සංචිතයට තෝරා ගැනීමේ ඉඩප්‍රස්තා විවරව තිබුණද එම ක්‍රම‘වේද පසෙකලා හිතුමතේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කපා දමා නවක සංචිතයක් තෝරාගෙන ඇතැයි ක්‍රීඩකයෝ පවසති.
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පාපන්දු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනුයේ ක්‍රීඩා අමාත්‍යාංශය පරීක්ෂණයට අනුව තේරීම් සිදුකර තමන්ට සාධාරණයක් ඉටුකරන ලෙසයි.
එසේ නොමැතිනම් වත්මන් පාපන්දු සංචිතය සමග පාපන්දු තරගයක් ලබාදී තම ශාරීරික යෝග්‍යතාව හා දස්කම් පෙන්වීමට අවස්ථාවක් ලබාදෙන මෙන් ඔවුහු ඉල්ලා සිටිති.
මේ පිළිබඳ අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම පවසා සිටියේ, පාපන්දුවේ සිදුවන මෙවැනි අසාධාරණකම් ක්‍රීඩා අමාත්‍යාංශය හෝ ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් නොමැති බවයි. මේ අසාධාරණය පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශය හෝ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු කර ඒ පිළිබඳ විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන්නැයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ ඉල්ලා සිටිති.