ජර්මනියේ බොරුසියා ඩොර්ට්මන්ඩ් පාපන්දු කණ්ඩායම ගමන් ගත් බස් රථයකට ඊයේ (11දා) (ශ්‍රි ලංකා වේලාවෙන් අද අලුයම) බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. බස් රථයට ප්‍රහාර තුනක් එල්ල වී ඇති අතර එයින් එක් ක්‍රීඩකයෙකු පමණක් තුවාල ලබා තිබේ.
චැම්පියන්ස් ලිග තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයට එක්වීම සඳහා ගමන් කරමින් සිටින විට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. ඒ අනුව තරගය ඊයේ දිනයේදී නොපැවැත්වූ අතර එය අද දක්වා කල් දැමීමට තරග සංවිධායකයන් කටයුතු කරනු ලැබීය.
මොනාකෝ කණ්ඩායම හා බොරුසියා කණඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබුණි. ප්‍රහාරයෙන් පසුව මාධ්‍ය හමුවක් පැවැත්වූ ඩොර්ට්මන්ඩ් පොලීසිය පැවැසුවේ ප්‍රහාරය සැලසුම් ගතව කළ ප්‍රහාරයක් බවයි.
සිද්ධිය සිදුවූ ස්ථනයේ තිබූ අත් අකුරුවලින් ලියූ ලිපියක් වැනි දෙයක් හමුවූ බවත් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් ඩොර්ට්මන්ඩ් පොලීසිය පවසයි.
තරගය සිග්නල් ඉඩුනා පාක් පිටියේදි පැවැත්වීමට නියමිතව තිබූ අතර ප්‍රහාරයෙන් පසුව තරගය නැරඹීමට පැමිණි සිටි 80000කට ආසන්න පිරිසට ආරක්ෂාව තහවුරු කරන තෙක් පිටිය තුළම රැදෙන ලෙස ආරක්ෂක අංශ නිවේදනය කළේය. පසුව ඔවුහු ආරක්ෂිතව පිටියෙන් ඉවත් කරනු ලැබීය.