සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත දීර්ඝ තරග සංචාරය ආරම්භ කරමින් තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (14දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට මෙරටදී මුහුණ දුන් ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මෙන්ම එම තරගාවලියට පෙරාතුරුව පැවැති පාකිස්තානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියද පරාජයට පත්විණි. එහෙයින් නැවත වරක් සිය අභිමානය රැකගනිමින් ජයග්‍රාහී මාවතට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානමින් පසුවේ.
වසර 5කට පමණ පසුව මෙරට ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින බ.ඉ.කොදෙව් කණ්ඩායමද සිය රට තුළදී අවසන් වරට ඔස්ට්‍රේලියාව සමග මුහුණ දුන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පරාජයට පත්විණි. එහෙයින් ඔවුහුද යම් පසුබෑමකට ලක්ව සිටිති. විශේෂයෙන් බ.ඉ. කොදෙව් ක්‍රීඩකයන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පසුගිය දශකයක පමණ කාලයක සිට ඉදිරිපත් කරමින් සිටින දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන් එරට තුළ ක්‍රිකට් ක්‍රීඩාවට පැවැති ජනප්‍රියත්වය ක්‍රමයෙන් හීනවෙමින් පවතියි. මේ හේතුව නිසාම දක්ෂතාවලින් පිරුණු තරුණ ක්‍රීඩකයන් සොයා ගැනීමේ ගැටලුවට ඔවුන් මේ වනවිට මුහුණ පා ඇත.
කෙසේ වෙතත් නැවත වරක් සිය අභිමානය ළඟා කරගනු වස් නව නායකයෙකු යටතේ දිගු ගමනක් යෑමේ අපේක්ෂාවෙන් බ.ඉ.කොදෙව් කණ්ඩායම මෙරට තරග සංචාරයට එක්ව සිටියි. එහි ප්‍රතිඵලයක් ලෙසින් හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ලද පරාජය හේතුවෙන් දිනේෂ් රාම්දීන්ට කණ්ඩායමේ නායකත්වය පවා අහිමිවිය. ඔහුගෙන් ගිලිහී ගිය නායකත්වය නවක ක්‍රීඩක ජේසන් හෝල්ඩර්ගේ කර මත පැටවිණි. ඔහු තවමත් 23 වැනි වියේ පසුවන යෞවනයෙකි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට ප්‍රවිෂ්ට වන්නේ බ.ඉ.කොදෙව්වන්ට වඩා මදක් ඉදිරියෙන් හිඳිමිනි.
තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ 15 කින් යුත් සංචිතයට නවක ක්‍රීඩකයන් ලෙස මිලින්ද සිරිවර්ධන සහ කුසල් මෙන්ඩිස් ඇතුළත්ව සිටීම විශේෂත්වයකි. මිලින්ද සිරිවර්ධන මෙරට ප්‍රථම පෙළ තරගාවලියේදී වසර කිහිපයක්ම ලකුණු අතර සිටින පිතිකරුවෙකි. එමෙන්ම වමත් දඟ පන්දු යවන්නෙකු ලෙසින්ද දක්ෂතා දක්වා ඇති පන්දු යවන්නෙකි. එයට අමතරව පාකිස්තානය සමග පැවැති එක්දින තරගාවලියේදීද දක්ෂතා අතරට පැමිණි ක්‍රීඩකයෙකි. එහෙයින් සිරිවර්ධනට කණ්ඩායමේ ස්ථානයක් හිමිවිය යුතුව තිබූ අතර, ඔහුට එම අවස්ථාව ලබාදීම නිවැරදි තීරණයකි.
කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස්ගේ තේරීම සම්බන්ධයෙන් මේ වනවිට යම් තිගැස්මක් ඇතිව තිබේ. ඒ ඔහු පළමු පෙළ තරගාවලියේ දී එතරම් දක්ෂතා දක්වා නොදක්වා ඇති බැවිනි. කෙසේ වෙතත් පසුගිය වසරේ වයස 19 පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ මෙන්ඩිස් එහිදී සිය දක්ෂතා ඉදිරිපත් කිරීමට සමත්විණි. එමෙන්ම සංවර්ධන කණ්ඩායමේ නායකයා ලෙසින් ඉන්දීය තරග සංචාරයේදීද දක්ෂතා දැක්වීමට ඔහුට හැකිවිණි. මේ සියලු දත්ත සලකා බලා තේරීම් කමිටුව ඔහුට අවස්ථාවක් දීමට තීරණය කර ඇත. අද තරගයේ දී මෙන්ඩිස්ට අවස්ථාවක් හිමිවනු ඇතැයි විශ්වාස කළ නොහැකි වුවද සිරිවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් අද දින ටෙස්ට් වරම් හිමිකර ගනු ඇතැයි විශ්වාසය පළ කළ හැකිය. සිරිවර්ධන සහ මෙන්ඩිස් සංචිතයට ඇතුලත්වීම හේතුවෙන් උපුල් තරංගට සහ ජෙහාන් මුබාරක්ට කණ්ඩායමේ ස්ථානය අහිමිව ඇත.
ළහිරු තිරිමාන්නගේ තේරීම සම්බන්ධයෙන් මේ වනවිට තේරීම් කමිටුවට දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතී. ඒ ළහිරු තිරිමාන්න අවසන් වරට මුහුණ දුන් ඉනිම් 12 (0, 12, 62, 11, 13, 44, 11, 0, 7, 20(නොදැවී), 8, 44) තුළදී වාර්තා කර ඇත්තේ ලකුණු 232 ක් පමණක් බැවිනි. එහි සාමාන්‍ය ඉනිමකට ලකුණු 19.33කි. මෙය ළහිරුට පමණක් නොව සෙසු තරුණ ක්‍රීඩකයන්ට ද කරන අසාධාරණයකි. විශේෂයෙන් ළහිරු වැනි අනාගතය වෙනුවෙන් ආරක්ෂා කළ යුතු ක්‍රීඩකයෙකු දිගින් දිගටම අසාර්ථක වන තත්ත්වයක් තුළ ඔහුට දිගින් දිගටම අවස්ථාව ලබාදීම ඔහුගේ ක්‍රීඩා දිවිය අනතුරේ දැමීමකි.
මෙම තරගාවලියේදී ළහිරු ලකුණු අතරට පිවිසියහොත් ඔහුට හිතකරය. එසේ නොවුණහොත් ළහිරුට සිය හැකියාවන් නැවත ඉදිරිපත් කිරීමට සභාපතිවරයාගේ කණ්ඩායමේ හෝ සංවර්ධන කණ්ඩායමේ හෝ ස්ථානයක් පවා අහිමිවීමට ඉඩ ඇත. වර්තමාන තේරීම් කමිටුව ඉදිරිපත් කරමින් තිබෙන ක්‍රියා පිළිවෙතින් එය තවදුරටත් පැහැදිලි වෙමින් තිබේ.
කුමාර් සංගක්කාර ක්‍රීඩා නොකළ බැවින් පාකිස්තානු ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයට පමණක් ක්‍රීඩා කළ උපුල් තරංග අංක තුන ස්ථානයේ ක්‍රීඩා කරමින් ඉනිම දෙක තුළදීම ලකුණු අතරට පිවිසියේය. ඉන් අනතුරු ඉන්දියාව සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක ඔහුට අහිමි වූයේ කුමාර් සංගක්කාර නැවත වරක් කණ්ඩායම සමගින් එක් වූ බැවිනි. කුමාර්ගේ සමුගැනීමෙන් පසු තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ උපුල් එහිදී ආරම්භක පිතිකරුවෙකු ලෙසින් කටයුතු කළ අතර, එය අසාර්ථක විණි.
එහෙත් ඔහුට සිය හැකියාවන් නැවත වරක් ඉදිරිපත් කිරීමට සභාපතිවරයාගේ හෝ සංවර්ධන කණ්ඩායමක හෝ අවස්ථාවක් ලබාදීමට තරම් තේරීම් කමිටුව ඉදිරිපත් නොවීම විමතියට කරුණකි. විශේෂයෙන්ම සභාපතිවරයාගේ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරමින් සිටි ළහිරු එහිදීද අසාර්ථක විය. එහෙත් ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් ලබාදීමට තරම් තේරීම් කමිටුව කාරුණික විය. උපුල් තරංගට සහ ජෙහාන් මුබාරක්ට එවැනි අවස්ථාවන් හිමිනොවීම ගැටලු සහගතය. තවද මෙය ළහිරු තිරිමාන්නට ද කරන බලවත් අසාධාරණයකි. ඒ ළහිරු මෙම තරගයට ක්‍රීඩා කරන්නේනම් කෙසේ හෝ සාර්ථකවීමට සිදුව ඇති බැවිනි. මෙසේ තරුණ ක්‍රීඩකයන් පීඩනයට හසු කිරීම නුවණට හුරු ක්‍රියාවක් නොවන බව සඳහන් කළ යුතුමය.
තරුණ ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලත් බ.ඉ.කොදෙව් කණ්ඩායම සතුව මාලන් සැමුවෙල්ස්, ඩැරන් බ්රාවෝ වැනි ජාත්‍යන්තර තුළ යම් කතාබහකට ලක්වූ පිතිකරුවන් මෙන්ම වේග පන්දු යවන්නන් වන ජෙරම් ටේලර් සහ කෙමර් රොච් සිටීම ඔවුන්ගේ ශක්තිය වැඩි කිරීමට හේතුවකි. තවද ජේසන් හෝල්ඩර් යනු තරගයක් ලෙහෙසියෙන් අත්හරින ක්‍රීඩකයෙකු නොවන බැවින් ඔහු ශ්‍රී ලංකා පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ටද දැඩි පීඩනයක් එල්ල කරනු ඇතැයි විශ්වාස කළ හැකිය. මැද පෙළ පිතිකරුවෙකු ලෙසින් ක්‍රීඩා කරන ජර්මෙයින් බ්ලැක්වුඩ් කොදෙව් කණ්ඩායම වෙනුවෙන් මේ වනවිට ලකුණු අතර සිටින පිතිකරුවෙකි.
ඔහු මේ වනවිට යම් විශ්වාසයකින් පන්දුවට පහර දෙමින් සිටින බැවින් ඔහු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පීඩනයක් එල්ල කරනු ඇත. කෙසේ වෙතත් යොවුන් කොදෙව් පිතිකරුවන්ට ගැටලුවක්ව ඇත්තේ ශ්‍රී ලංකාව වැනි පන්දුව හොඳින් දඟ කැවෙන තණතීරුවල ක්‍රීඩා කොට අත්දැකීම් නොතිබීමයි. එය ඔවුන් පීඩනයට හසු කරවන ප්‍රධානම හේතුවකි.
ශ්‍රී ලංකා සංචිතය - ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උපනායක) කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, මිලින්ද සිරිවර්ධන, කුසල් මෙන්ඩිස්, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, තරිඳු කෞෂාල්,නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර
කොදෙව් සංචිතය - ජේසන් හෝල්ඩර් (නායක), ක්‍රෙග් බ්‍රැත්වෙයිට්, දේවින්ද්‍ර බිෂෝ, ජෙරමෙයින් බ්ලැක්වුඩ්, කාලොස් බ්‍රැත්වෙයිට්, ඩැරන් බ්රාවෝ, රාජේන්ද්‍ර චන්ද්‍රිකා, ශේන් ඩොව්රිච්, ශානොන් ගේබියල්, ශායි හෝප්, දිනේෂ් රාම්දීන්, කෙමර් රොච්, මාලන් සැමුවෙල්ස්, ජෙරෝම් ටේලර්, ජොමෙල් වැරිකන්
ඡායාරූප - ශාන්ත රත්නායක