හයවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි 10’ වටයේ පළමු කාණ්ඩයේ (Group 1) පස්වැනි තරගය ලෙස බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී ඊයේ (20දා) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර කඩුලු 07 ක පහසු ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මෙම පරාජයත් සමග අවසන් පූර්ව තරගයට පහසුවෙන් පැමිණීමට නම් ඉතිරි තරග දෙකම ජය ලැබිය යුතු තත්ත්වයක් නිර්මාණය විය. කෙසේ නමුත් කොදෙව් කණ්ඩායමට අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට ඉතිරි තරග දෙකෙන් තරගයක් ජය ලැබීම ප්‍රමාණවත් වන අතර, ඔවුන්ට ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයද ඉතිරිව තිබේ.
කොදෙව් කණ්ඩායම ලකුණු 123 ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 18.2කදී කඩුලු 03 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම හොඳ තත්ත්වයක තිබුණේ නම් ප්‍රතිඵලය මීට වඩා බොහෝ සෙයින් වෙනස්වන්නට ඉඩ තිබිණි. ඉනිමේ අවසන් භාගයේදී නුවන් කුලසේකර වෙතින් පහසු උඩ පන්දුවක් ගිලිහී ගියේය.
්
ඇන්ඩ්‍රි ෆ්ලෙචර් වගකීම සිය කර මතට ගනිමින් පන්දු 64කදී හතරේ පහර 06 ක් සහ හයේ පහර 05 ක් සමගින් නොදැවී ලකුණු 84 ක් රැස්කරමින් තරගය අවසන් කළේය. මාලන් සැමුවෙල්ස් (03) දෙවැනි කඩුල්ල ලෙස මිලින්ද සිරිවර්ධනගේ පන්දුවක් හමුවේ පිටියෙන් ඉවත් විය. කොදෙව් ඉනිමේ පළමු කඩුල්ල ලෙස ජොනතන් චාල්ස් (10) ජෙෆ්රි වැන්ඩසේගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.
ජොනතන් චාල්ස් ලකුණු 06 ක් රැස්කරගෙන සිටියදී, ජෙෆ්රි වැන්ඩසේගේ පන්දුවක් හමුවේ මිඩ්විකට් කලාපයට ලබාදුන් පහසු උඩපන්දුව චාමර කපුගෙදර වෙතින් ගිලිහී ගියේය. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා පන්දු 29කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 40 ක් රැස්කිරීමට සමත් විය.
ඇන්ජලෝ මැතිව්ස් (20) ඩ්වෙන් බ්රාවෝ යැවූ බීමර් පන්දුවකට සමාන පන්දුකින් ගැලවීමට ගත් උත්සාහයේදී කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් රාම්ඩින් උඩ පන්දුවක් රැකගැනීමෙන් දැවී ගියේය. මැතිව්ස් එම පන්දුවට පහරදෙන විට පිතිකරු රේඛාවෙන් ඉදිරියෙන් සිටි අතර, පිත්තේ පන්දුව වදින විට පන්දුව බීමර් පන්දුවක් ලෙස දිස්විය. කෙසේ වෙතත් තෙවැනි විනිසුරු තීරණය වූයේ ඔහු පිතිකරු රේඛාව මත සිටියේ නම් එය නීත්‍යනුකූල පන්දුවක් බවයි.
ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා හයවැනි කඩුල්ලට පන්දු 45කදී ලකුණු 44 ක සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු 100 සීමාවට ඒමට අඩිතාලම දැමූහ. සැමුවෙල් බද්රි, ශ්‍රී ලංකා ඉනිම අඩපණ කිරීමට මූලිකත්වය ගනිමින් සිය පන්දුවාර හතරේදී ලකුණු 12කට කඩුලු 02 ක් දවා ගත්තේය. චාමර කපුගෙදර (06) සහ මිලින්ද සිරිවර්ධන (0) 08 වැනි පන්දුවාරයේ පළමු සහ සිවුවැනි පන්දුවලදී දැවී යෑමෙන් ලකුණු 47කට කඩුලු 05 ක් බවට පත්විය. එම කඩුලු දෙක පිට පිටම බිඳ වැටීම හේතුවෙන් අවසන් පන්දුවාර පහට රැස්කළ හැකි වූයේ ලකුණු 22 ක් පමණි.
හදිසියේ පත්වූ තේරීම් කමිටුව පිතිකරු ලැයිස්තුව ස්ථාවර කිරීමට යැයි පවසමින් සංචිතයට එක්කළ ළහිරු තිරිමාන්න නැවතත් අසාර්ථක වෙමින් ලකුණු 05කට තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්වීමෙන් කඩුලු පෙරහර ආරම්භ විය. තිරිමාන්න, ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයේදීද ලකුණු 06 ක් පමණක් ලබා ගත්තේය. දිනේෂ් චන්දිමාල් පන්දු 18කදී ලකුණු 16 ක් ලබා සිටියදී දුවද්දී දැවීයාම දැඩි පාඩුවක් බවට පත්විය.
තිලකරත්න ඩිල්ෂාන් පන්දු 10කදී ලකුණු 12 ක් ලබා සිටියදී කාලෝස් බ්රැත්වයිට්ගේ පළමු පන්දුවට කඩුල්ල මුවාකිරීමේ වදරට දැවී ගිය බවට දකුණු අප්‍රිකානු ජාතික විනිසුරු ජෝන් ක්ලෝත් මහතා තීරණය කළේය. තිලකරත්න ඩිල්ෂාන් එම තීරණය පිළිබදව විස්මයට පත්වූ අතර, එම පන්දුව පා ඉන්නෙන් ඉවතට දෝලනය වූ බව දැකගත හැකි විය.
කොදෙව් කණ්ඩායමට ඇන්ඩ්‍රි ෆ්ලෙචර් කැඳවා තිබූ අතර, පළමු තරගයට ක්‍රීඩා කළ ජෙරමි ටේලර්ට ස්ථානය අහිමි වී තිබේ. තරගයේ වීරයා ලෙස ඇන්ඩ්‍රි ෆ්ලෙචර් සම්මාන දිනාගත්තේය.ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තෙවැනි තරගය එංගලන්තයට එරෙහිව මේ මස 26 වැනිදා දිල්ලිහිදී පැවැත්වේ.
ක්‍රිස් ගේල් ආබාධයකට ලක්වෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ (20දා) පැවැති තරගයේ පන්දු රකිමින් සිටියදී කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් මස්පිඬු පෙරළීමේ අබාධයකට ලක්ව පිටියෙන් ඉවත් විය. ඒ හේතුවෙන් ගේල්ට පන්දුවට පහරදීමේ අවස්ථාව අහිමි විය.
කොදෙව් ඉනිමේ තෙවැනි කඩුල්ල දැවී යෑමෙන් පසුව පන්දුවට පහරදීමට ගේල් සූදානම් වුවද, පන්දුවාර 11 ක් පන්දු රැකීමෙන් ඉවත්ව සිටීම නිසා කඩුලු 04 ක් බිඳවැටෙන තෙක් ඔහුට පන්දුවට පහරදීමට නොහැකි බව විනිසුරුවන් දැනුම්දීමෙන් ගේල් හැරී ගියේය.
ක්‍රිස් ගේල් ස්ලිප්හි පන්දු රකිමින් මිලින්ද සිරිවර්ධනගේ උඩ පන්දුව රැකගැනීමේදී 09 වැනි පන්දු වාරයේදී ආබාධයට ලක්ව පිටියෙන් ඉවත් විය. කොදෙව් පිලේ මාධ්‍ය කළමනාකරු පැවසුවේ ගේල්ගේ ආබාධය බරපතළ එකක් නොවන බවයි.ක්‍රිස් ගේල්ගේ පිතිහරඹය දැකගැනීමට 35,000කට අධික ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් ක්‍රීඩාංගණයට රැස්ව සිටි අතර, ගේල් ඉනිම ආරම්භ කිරීමට නොපැමිණීමත් සමග ඔවුහු ඝෝෂා කරන්නට වූහ.
යොහාන් භාසුර ඉන්දියාවේ බැංගලෝරයේ සිට