ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් උපකාර කිරීමට තමන් එක්වූයේ අවසන් අවස්ථාවට බවත්, පසුගිය කාලයේ සිදුවූ දෑ පිළිබඳ කනගාටු වන බවත් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.
ඊයේ (03දා) ක්‍රීඩා අමාත්‍යංශයේ පැවැති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහේල මේ බව සඳහන් කළේය.
“අපි මුලින්ම කෙටි කාලීන සැලැස්මක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව දිගුකාලීන සැලසුම් කිහිපයක් තිබෙනවා.
අපි පාලක මණ්ඩලයේ කමිටුවක් නොමෙයි. ඒ සැලසුම් ක්‍රියාවට නැංවිය යුත්තේ ඔවුන් (පාලක මණ්ඩලය). ඒක ඒ විදිහට වෙයි කියලා අපි හිතනවා. එහෙම නැතිවුණොත් අපි වැය කරන කාලයෙනුත්, අපි මෙහෙම හමුවෙන එකෙනුත් කිසිම වැඩක් නෑ.
කෙටි කාලීන සැලැස්මක් පළමුවෙන් ඉදිරිපත් කරනවා. එය ක්‍රියාවට නැංවුණොත් ඉදිරියට යනවා. එහෙම නැතිවුණොත් මගහැරලා යන්න වෙනවා.
මගහැරලා ගියොත්නම් මම පෞද්ගලිකව ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන අදහසක් දක්වන්න කැමති නෑ. අපි වුණත් අකමැතියි මේ තත්ත්වයේ ඉන්න. අපි පුළුවන් දේ තමයි කරන්න බලන්නේ.
අඬගහන අඬගහන වෙලාවට ඇවිල්ලා පැලැස්තර අලවන එක නෙමෙයි වෙන්න ඕන. අපි යම්කිසි ස්ථාවර සැලැස්මක් හදන්න ඕන. බලමු අවසන් උත්සාහයත් යොදවලා.
මට ලොකු කලකිරීමක් තියෙනවා වුණ දේවල් ගැන. මේක මගේ අවසන් උත්සාහය. මේ දේවල් වුණේ නැත්නම් නැවත නැවතත් ඇවිත් ඒ දේවල් කරන්න අමාරුයි." යනුවෙන් ඔහු කියා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ කුමාර් සංගක්කාර කියා සිටියේ, “ඉක්මනටම පැලැස්තර අලවනවට වඩා හොඳයි හරි සැලැස්මක් ගෙනෙන එක. එක සාකච්ඡාවකින් ඕවා කරන්න බෑ” යනුවෙනි.