ශ්‍රී ලංකා දඟපන්දු ක්‍රීඩක තරිඳු කෞෂාල්ගේ පිටදඟ පන්දු හා ටොප්ස්පින් පන්දු මේ වනවිට නැවත සකස් කර ඇති බවත්, ඔහුට මේ වනවිට නිවැරදි කරගැනීමට ඇත්තේ දුස්රා පන්දුව බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් දක්ෂතා ඉහළ නැංවීමේ කළමනාකරු සයිමන් විලිස් මහතා පැවසීය.
විලිස් මේ බව පැවසුවේ, ඊයේ (06දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ඉදිරියේදී බොහෝදුරට කෞෂාල්ගේ දුස්රා පන්දුවක් නිවැරදි කරගත හැකි යැයි හෙතෙම සඳහන් කළේය.
“කෞෂාල් පසුගිය සති 4 තුළ බොහෝ මහන්සි වුණා. අපි මේ වනවිට ඔහුගේ පන්දු යැවීම නැවත සකස් කර තිබෙනවා. අපිට මේ වනවිට තේරුම් ගොස් තිබෙනවා ඔහුගේ පිටදඟ පන්දුව හා ටොප්ස්පින් පන්දුව නිවැරදියි කියා. ඒ වගේම ඔහුගේ දුස්රා පන්දුවක් නැවත සකස් කිරීමට ඉදිරියේදී අපට හැකි වේවි* යැයි විලිස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
තරිඳු කෞෂාල් පන්දු යැවීම නිවැරදි නොවන බවට පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවැති ඉන්දීය ටෙස්ට් තරගාවලියේදී තහවුරු විය.