ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක කොදෙව් කණ්ඩායම අතර කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද (22දා) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට පළමුව පන්දුවට පහරදෙමින් සිටි කොදෙව් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 17ක් රැස්කරගෙන සිටියේය. නොදැවී කඩුල්ලේ රැඳී සිටින ක්‍රෙග් බ්‍රැත්වෙයිට් ලකුණු 04 ක් හා මුරකරු පිතිකරු ලෙස පන්දුවට පහරදෙමින් සිටින දේවෙන්ද්‍ර බිෂෝ ලකුණු 05ක් රැස්කරගෙන සිටිති.
කොදෙව් ඉනිමේ දැවීගිය පිතිකරුවූ ශායි හෝප් ලකුණු 04 ක් රැස්කරගෙන සිටියදී ධම්මික ප්‍රසාද්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවිය. අද (22දා) දිනය නිමාවීමට තවත් පන්දුවාර 16ක් යැවිය යුතුව තිබුණද, අඳුරු ආලෝකය හේතුවෙන් තරගය නියමිත වේලාවට පෙර නතර කිරීමට විනිසුරු දෙපළ කටයුතු කළහ.
පළමු තරගද ජයගෙන දැඩි විශ්වාසයකින් සිටි ශ්‍රී ලංකා නායකයා පෙර තරගයේ පරිදිම කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීම තීරණය කළේය. ගාල්ලේ පැවැති තරගය ඉනිමකින් හා ලකුණු 06කින් ජයගත් හෙයින් එක් ඉනිමක් පමණක් ක්‍රීඩාකර කොදෙව්වන් මෙල්ලකිරීමේ බලාපොරොත්තුවෙන් මැතිව්ස් පන්දුවට පහරදීමට තීරණය කළද, මෙම තරගයේදී කොදෙව්වන් වෙනස්ම සැලසුමකින් තරගයට අවතීර්ණ වූ බවක් පෙනෙන්නට තිබුණි. එහි ප්‍රතිඵලය වූයේ පන්දුවාර 66 කදී ශ්‍රී ලංකා ප‘ළමු ඉනිම ලකුණු 200කට සීමාවීමයි.
මෙම තරගය පිළිබඳ ඊයේ (21 දා ) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මැතිව්ස් අනාවරණය කළ කරුණක් වූයේ, තරිඳු කෞෂාල්ට හා ළහිරු තිරිමාන්නට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථානය අහිමිවනු ඇති බවයි. ඒ පරිද්දෙන්ම ඔවුන් දෙදෙනාට සිය ස්ථාන අහිමිවී තිබූ අතර, ඒ වෙනුවට ඩිල්රුවන් පෙරේරා හා යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් කැඳවා තිබුණි.
කුසල් මෙන්ඩිස්
දිමුත් කරුණාරත්න සමගින් කෞෂාල් සිල්වා මෙම තරගයේද ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, සුපුරුදු පරිදි ඔවුන් දෙදෙනා එක්ව වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමේ නොහැකියාව මෙම තරගයේදී ඉස්මතු විය. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිමට එක් ලකුණක් එක් වනවිට කෞෂාල් (0) දැවී ගියේය. ඉන් අනතුරුව මුළු ලකුණු 34 ක් වනවිට දිමුත් දැවී ගියේය. ගාල්ලේ පැවැති තරගයේදී දිමුත් - කෞෂාල් සුසංයෝගය පළමු කඩුල්ලට ලකුණු 56 ක සබඳතාවක් ගොඩනැගීම හැරෙන්න මෙම වසරේ ජනවාරි මාසයේ සිට ඔවුන් දෙදෙනා එක්ව තරග 06ක් (ඉනිම් 12) ක්‍රීඩාකර ඉන් එක් ඉනිමකදී හෝ ලකුණු 50 සීමාව පසුකිරීමට නොහැකිවී ඇත. කෙසේ නමුත් ඇතැම් තරගවලදී එක් අයෙකු පමණක් දිගු ඉනිමක් ක්‍රීඩාකර ඇත.
පසුගිය ටෙස්ට් තරග කිහිපයේදීම තම වගකීම සාර්ථකව ඉටුකිරීමට නොහැකිවූ ළහිරු තිරිමාන්න වෙනුවට මෙම තරගයට 20 හැවිරිදි කුසල් මෙන්ඩිස් කැඳවූවද, කණ්ඩායම මෙන්ම තේරීම් කමිටුවද බලාපොරොත්තු වූ සේවාව මෙම ඉනිමේදී කුසල්ට ඉටුකිරීමට නොහැකි විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනූ 132 වැනි ක්‍රීඩකයා වූ කුසල් ලකුණු 13 ක් රැස්කරගෙන සිටියදී තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
ජොමෙල් වොරිකන්
කුසල්ගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නොහැකිවූ අතර, මුළු ලකුණු 59 ක් වනවිට ඔහුද ලකුණු 14කට දැවී ගියේය. ඒ අනුව දිවා විවේකය සඳහා තරගය නතර කරන විට කොදෙව් පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිතිකරුවන් සිව්දෙනෙකුම ක්‍රීඩාගාරයේ අසුන් ගැන්වූහ. ඉන් අනතුරුව තේ පානය සඳහා තරග නතර කරන විට (146/6, 47) දිනේෂ් චන්දිමාල්ගේ (25) හා කුසල් ජනිත්ගේ (16) ඉනිම්ද සොරාගත් කොදෙව් පන්දු යවන්නෝ තවත් පන්දුවාර 19 ක් පමණක් වැයකර ශ්‍රී ලංකා ඉනිම සම්පූර්ණයෙන් නවතා දැමූහ.
රංගන හේරත්
මෙහිදී තම දෙවැනි ජාත්‍යන්තර ටෙස්ට් තරගයට ක්‍රීඩාකරමින් තම පළමු ටෙස්ට් අර්ධ ශතකය (68) වාර්තාකළ මිලින්ද සිරිවර්ධනගේ ඉනිම ක්‍රියාත්මක නොවන්නට, කොදෙව්වන්ට ශ්‍රී ලංකා පළමු ඉනිම අබිබවා යාමට හිමිවන ඉලක්කය මීට වඩා පහසු වන්නට තිබුණි. මෙම තරගයේ උපනායකත්වයේ වගකීම භාර ගත් රංගන හේරත් නොදැවී ලකුණු 26 ක් රැස්කිරීමට සමත්විය. එය මෙම ඉනිමේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස්කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව විය. හෙට (23දා) තරගයේ දෙවැනි දිනයයි.
මිලින්ද සිරිවර්ධන
ඡායාරූප ශාන්ත රත්නායක