සංචාරක එංගලන්ත කණ්ඩායම පරාජය කර බාබඩොස්හි කිංග්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පෙරේදා (03දා) අවසන් වූ තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 05 ක ජයක් ලැබීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.
අවසන් වරට කොදෙව්වෝ එංගලන්ත කණ්ඩායමක් පරාජය කර ටෙස්ට් ජයග්‍රහණයක් ලබා ඇත්තේ 2009 වසරේදීය. එම අතරවාරයේ තරග 11 ක් පවත්වා ඇති අතර, ඉන් තරග 05 ක් ජයගැනීමට එංගලන්තය සමත්ව ඇත. සෙසු තරග ජයපරාජයෙන් තොරව අවසන්ව ඇත.
පසුගිය සිකුරාදා (01දා) ආරම්භ වූ මෙම තරගයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 257 ක් රැස්කිරීමට සමත්විය. නායක ඇලෙස්ටයාර් කුක් ලකුණු 105 ක් රැස්කළේය. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජෙරම් ටේලර් ලකුණු 36කට කඩුලු 03 ක් දවාළූ අතර, ඔහුට අමතරව ශනොන් ග්රේබ්රියල් (2/47) හා ජේසන් හෝල්ඩර් (2/34) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කොදෙව් කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 189/10 ක් පමණි. ජර්මෙන් බැලැක්වුඩ් රැස්කළ අර්ධ ශතකය (85) හැරෙන්න වෙනත් කිසිදු පිතිකරුවෙකුට සාර්ථක ඉනිමක් ගොඩනැගීමට නොහැකි විය.
කෙසේ නමුත් නැවත තම දෙවැනි ඉනිම ආරම්භ කළ එංගලන්ත පිතිකරුවන්ට සාර්ථක වීමට ඉඩලබා නොදුන් කොදෙව් පන්දු යවන්නෝ ඔවුන්ව ලකුණු 123/10 කට සීමා කිරීමට සමත්වූහ. ජෙරම් ටේලර් (3/33), ජේසන් හෝල්ඩර් (3/15) හා වීරසාමි පෙරුමාල් (3/43) එංගලන්ත ඉනිම මෙල්ලකරමින් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ. ඒ අනුව කොදෙව් කණ්ඩායමට ලකුණු 192 ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවූ අතර, එම ඉලක්කය කඩුලු 05 ක් පමණක් දැවී පසුකර යාමට කොදෙව් පිතිකරුවෝ සමත්වූහ.
විස්ඩන් කුසලානය වෙනුවෙන් පැවැති මෙම තරගාවලිය තරග තුනකින් සමන්විත විය. එහි පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර, දෙවැනි තරගය කඩුලු 09කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව මෙම තරගාවලිය තරග 1-1 ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් විය. අවසන් තරගයේ වීරයා ලෙස ජර්මෙන් බ්ලැක්වුඩ් සම්මාන දිනාගත් අතර, තරගාවලියේ වීරයා ලෙස ජේම්ස් ඇන්ඩර්සන් සම්මාන දිනාගත්තේය.