ලෝක ක්‍රිකට් පිටියේ වාර්තා රැසක් මකා දමා එම වාර්තා තමන්ගේ නම ඉදිරියේ ලියාගත් ක්‍රිස් ගේල්ගේ ප්‍රවේගකාරී පිතිහරඹයත්, මාලන් සැමුවෙල්ස් සමගින් ඔහු ගොඩනැගූ වාර්තාගත සබඳතාවත් හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කර ලකුණු 73 ක ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (24දා) සමත්විය.
ලෝක කුසලාන තරගාවලියේ 15 වැනි තරගය ලෙසින් මෙම තරගය ඔස්ට්‍රේලියාවේ කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කොදෙව් කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 363 ක ඉලක්කයට පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 44.3 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 289 ක් පමණි. ශේන් විලියම්ස් (76) හා ක්‍රෙග් අර්වින් (52) අර්ධ ශතක රැස්කළද එය ඔවුන්ට ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 02 ක් පමණක් දැවී ලකුණු 372 ක් රැස්කිරීමට සමත්විය. කෙසේ නමුත් මෙම තරගයට වර්ෂාවෙන් බාධා ඇති වූ හෙයින් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 48 ක් තුළ ලකුණු 363 ක ඉලක්කයක් හිමිවිය.
ක්‍රිස් ගේල් සමගින් ඩ්වේන් ස්මිත් කොදෙව් ඉනිම ආරම්භ කළ අතර, ඉනිමට එකදු ලකුණක් හෝ එක්වන්නට මත්තෙන් පළමු පන්දුවාරයේ දෙවැනි පන්දුවෙන්ම ඩ්වේන් ස්මිත් දවාගැනීමට ටිනෂි පන්යන්ගරා සමත්විය. පන්දුව කඩුල්ලේ වැදීමෙන් ස්මිත් පිටියෙන් ඉවත්ව ගියේය.
කෙසේ නමුත් ඉන් අනතුරුව පන්දුවෙන් පන්දුවට ක්‍රිස් ගේල් අලුත් කරන වාර්තා දෙස බලා සිටීම හැරෙන්නට එම ඉනිමේ අවසන් පන්දුවේදී ඔහු දැවී යන තෙක් කිසිදු කඩුල්ලක් දවාගැනීමට සිම්බාබ්වේ පන්දු යවන්නන්ට නොහැකි විය. කොදෙව් ජයග්‍රහණයේ නියමුවා වූ ක්‍රිස් ගේල් තරගයේ වීරයා ලෙස සම්මාන හිමි කරගත්තේය.