සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (04දා) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රි තරගයක් ලෙස පැවැත්වේ. තරගාවලියේ පළමු තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පෙරමුණ ගෙන සිටියි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 2.30ට ආරම්භවීමට නියමිතය.
මේ වනවිට දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය හේතුවෙන් අද තරගයටද වර්ෂාවෙන් බාධා ඇතිවීමට වැඩි අවස්ථාවක් ඇත. එහෙයින් කාසියේ වාසිය හිමිකරගතහොත් ප්‍රථමයෙන් පන්දු යැවීම වාසිදායකය. මන්ද බ.ඉ.කොදෙව් පිතිකරුවන් පාලනය කරගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අපහසු බව පළමු තරගයේදීද දැකගත හැකිවිය. විශේෂයෙන්ම වර්ෂාව පතිත වීමෙන් පසුව තරගයේ නියමිත පන්දුවාර සංඛ්‍යාව අඩු කිරීම හේතුවෙන් බ.ඉ.කොදෙව් පිතිකරුවන් වේගයෙන් ලකුණු රැස් කිරීම ආරම්භ කළේය. එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් කිසිවෙකුටවත් කොදෙව් පිතිකරුවන් පාලනය කරගැනීමට අවස්ථාවක් උදා නොවුණි. එහෙයින් මේ අවස්ථාව වනවිට ලකුණු පසුපස හඹා යෑම ශ්‍රී ලංකා කණ්ඩායමට හිතකරය.
පළමු තරගයේ දී සාර්ථක වූ සුරංග ලක්මාල් අද තරගයේදීද එවැනිම සාර්ථකත්වයක් ලබාගතහොත් එය කණ්ඩායමට ධන ලකුණකි. එක්දින ලෝක කුසලාන තරගාවලියේ සිට රිද්මයේ නොසිටි ලසිත් මාලිංග දේශීය අන්තර් සමාගම් එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් පසුව නැවත වරක් සුපුරුදු රිද්මයට ළඟාවෙමින් සිටින බවට පළමු තරගයේදී ඉඟි පළ කළේය. එයද ශ්‍රී ලංකා කණ්ඩායමට ධන ලකුණකි.
කෙසේ වෙතත් ලසිත් මාලිංග හැකි ඉක්මනින් සුපුරුදු රිද්මයට පැමිණ කඩුලු ලබාගත යුතුව ඇත. එසේ නොවුණහොත් ශ්‍රී ලංකා කණ්ඩායම තව තවත් පීඩනයට හසුවීම වැළැක්විය නොහැක. තණතිල්ලේ තෙත ස්වභාවය හේතුවෙන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට පන්දුව නිසි අයුරින් ග්‍රහණය කරගැනීමට අපහසු වූ නිසාදෝ පළමු තරගයේදී කොදෙව් පිතිකරුවන් පීඩනයට හසුකර ගැනීමට ඔවුන් අපොහොසත් විය. එය ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් හිතකර තත්ත්වයක් නොවේ. වර්ෂාවෙන් බාධා ඇති නොවී අද තරගය සම්පූර්ණ තරගයක් ලෙසින් පැවැත්වීමට අවස්ථාව උදාවුවහොත් කොදෙව් පිතිකරුවන් පාලනය කරගැනීමට දඟ පන්දු යවන්නන්ගේ සහාය අත්‍යවශ්‍ය සාධකයකි. එසේ නොවන්නට කොදෙව් පිතිකරුවන් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑම වළක්වාලීම අපහසුය.
තරග තහනමක් හේතුවෙන් පළමු තරගයට ක්‍රීඩා නොකළ දිනේෂ් චන්දිමාල් අද තරගයට ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාස කළ හැකිය. එය ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය වැඩිකිරීමට හේතුවක් වනු ඇත. කෙසේ වෙතත් ළහිරු තිරිමාන්න ලකුණු අතර නොසිටීම ගැටලුවකි. එමෙන්ම ඔහුට දිගින් දිගටම අවස්ථාව ලබාදීමද ගැටලුවකි. මාලිංග මෙන් දේශීය තරගාවලියකට ක්‍රීඩා කර දක්ෂතා අතරට පැමිණ තම විශ්වාසය වැඩිකර ගැනීමට ළහිරුට අවස්ථාව ලබා දිය යුතුව ඇත. එසේ නොවුනහොත් කෙසේ හෝ ලකුණු රැස්කිරීමට ළහිරුට සිදුවන බැවින් ඔහුට එල්ලවන පීඩනය අඩු නොවේ. තරුණ ක්‍රීඩකයෙකුට එතරම් පීඩනයක් ලබාදීම ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාව අනතුරේ දැමීමකි.
ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සාපේක්ෂව බ.ඉ. කොදෙව් පිතිකරුවන් යම් විශ්වාසයකින් යුතුව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පහර දෙන ආකාරයක් මේ වනවිට දැකගත හැකිය. එය ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසියකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ට චකිතයකින් තොරව පහරදීම කොදෙව්වන්ට ධන ලකුණකි. අන්ඩ්‍රේ රසල්, ජේසන් හෝල්ඩර් සහ කාලෝස් බ්‍රැත්වෙයිට් වේගයෙන් ලකුණු රැස් කරන පිතිකරුවන් බැවින් අවසන් පන්දුවාර කිහිපයේදී විශාල ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගැනීම ඔවුන්ට එතරම් අපහසුවක් නොමැත. එබැවින් මෙම පිතිකරුවන් තිදෙනාගෙන් පරෙස්සම් වීම ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත්ය. විශාල ශරීරවලින් මෙන්ම බාහු ශක්තියෙන් ඉහළ මෙම ක්‍රීඩකයන්ට හයේ පහරක් එල්ල කිරීම එතරම් අපහසු ක්‍රියාවක් නොවේ.
එහෙයින් කොදෙව් ඉදිරිපෙළ පිතිකරුවන් සාර්ථක වුවහොත් පසුපෙළ පිතිකරුවන් ලෙසින් රසල්, හෝල්ඩර් සහ බ්‍රැත්වෙයිට් සිටින බැවින් ඔවුන්ට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා ගමන් කිරීම එතරම් ගැටලුවක් නොමැත. විශේෂයෙන් රසල් අත්දැකීම් ඇති එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බැවින් ඔහුගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල වනු ඇත. කෙසේ වෙතත් පළමු එක්දින තරගයේදී ආබාධයකට ලක්වූ රසල්ගේ ආබාධයේ ස්වභාවය මත ඔහු අද තරගයට ක්‍රීඩා කරනු ඇත්දැයි තීරණය වනු ඇත. ඔහු අද තරගයට ක්‍රීඩා නොකරන්නේ නම් එය ඔවුන්ට අවාසියකි.
සුනිල් නරීන් සුපුරුදු පරිදි ශ්‍රී ලංකා පිතිකරුවන්ට පීඩනයක් එල්ල කරමින් සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඔහු ක්‍රීඩා කරන සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා පිතිකරුවන්ට පීඩනයක් එල්ල කිරීමට ඔහුට හැකිවිණි. අද තරගයේදීද සුනිල්ගෙන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ප්‍රබල පීඩනයක් එල්ලවනු ඇත. යම් හෙයකින් වර්ෂාව හේතුවෙන් තරගය අඩු පන්දුවාර සංඛ්‍යාවකට සීමාවුවහොත් ඔහු ආරම්භක පන්දු යවන්නෙකු ලෙස යොදාගැනීමට වැඩි අවස්ථාවක් ඇත. එසේ වුවහොත් ඔහුට කඩුලු නොදීමට ශ්‍රී ලංකා පිතිකරුවන් වග බලාගත යුතුය. එමෙන්ම තරගය නියමිත පන්දුවාර සංඛ්‍යාවම ක්‍රියාත්මක වුවහොත් සුනිල් නියත වශයෙන්ම මැදපෙළ පිතිකරුවන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරනු ඇත.
ඡායාරූපය ශාන්ත රත්නායක