තෙවැනි විනිසුවරුන්ට රූපවාහිනී තාක්ෂණය හා වීඩියෝ තාක්ෂණය පිළිබඳව පුළුල් දැනුමක් තිබිය යුතු බවත්, තීරණය කළ නොහැකි උඩපන්දු (Low Catching) පිළිබඳව වඩාත් යහපත් තීන්දු තීරණ ලබාගැනීමට නම් තෙවැනි විනිසුවරුන්ට ඒ සඳහා පුළුල් පුහුණුවක් ලබාදිය යුතු බවත් ක්‍රිකට් විස්තර විචාරක ඉයන් චැපල් පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ, විස්සයි20 ලෝක කුසලානය යටතේ පෙරේදා (20දා) නිමාවට පත්වූ ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් තරගයෙන් අනතුරුව ඊ.එස්.පී.එන්. (ESPN) මාධ්‍ය සාකච්ඡාවකදීය.
එම තරගයේ විනිසුරු තීරණ දැඩිව විවේචනය කළ ඉයන් චැපල් විස්සයි20 තරග සඳහා විනිසුරු තීරණ නැවත විමසීමේ ක්ර‘මවේදය (DRS) අත්‍යවශ්‍ය හා වැදගත් බවද පෙන්වා දුන්නේය. “ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්ගේ උඩපන්දුව දිනේෂ් චන්දිමාල් නිවැරදිව රැක ගත්තා. එය දැවීයාමක් ලෙස සලකන්න ඕනෑ තරම් සාධක තිබෙනවා. ඒ සම්බන්ධව බොහෝ දෑ අපට සාකච්ඡා කළ හැකියි. අපි දුටුවා විනිසුරුවරයා එය දැවීයාමක් ලෙස සටහන් කරනවා. පළමුව අපි ප්‍රශ්න කළ යුතු වන්නේ ඇයි එයට තෙවැනි විනිසුවරයෙකුගේ සහාය පැතුවේ කියන කාරණය.
එහිදී සයිමන් ෆ්‍රයි විනිසුරුවරයාට අවබෝධයක් තිබුණෙ නැහැ. ඔහු ස්ලිප්හි සිට පන්දු රකින ආකාරය දන්නේ නැහැ. කඩුල්ල පිටුපස සිට උඩපන්දු අල්ලන හැටි දන්නේ නැහැ. අද ඉන්න තෙවැනි විනිසුරුවරුන්ට කඩුල්ල පිටුපස දැවීයාම සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නැහැ. ඔවුන්ට රූපවාහිනි තාක්ෂණය පිළිබඳ වීඩියෝ තාක්ෂණය පිළිබඳව අවබෝධයක් නොමැති බව හොඳටම පැහැදිලියි.
මීට වසර 15 කට පෙර එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව තරග කිරීමේදීද මෙවැනි තත්ත්වයක් මතු වුණා. එහිදී ටෝනි ග්‍රේග් පවසා සිටියා සියලුම කෝණවලින් එය දැවී යාමක් ලෙස තහවුරුවීමට අවශ්‍ය සාධක තිබෙනවා නම් ඇයි තෙවැනි විනිසුරුගේ සහය ලබාගන්නේ කියලා.
මෙම දැවීයාමේදී රූපවාහිනී දර්ශනවලින් පෙනී යනවා උඩපන්දුව කඩුලු රකින්නාගේ අත් ආවරණය තුළම පතිත වන බව. එම උඩපන්දුව ක්‍රීඩා පිටිය තුළ පතිත වූයේ, නම් ඊළඟට පන්දුව ගලා යා යුත්තේ අත්ල උඩටයි. නමුත් අපි එවැන්නක් දුටුවේ නැහැ.
වසර ගණනාවක පටන් රූපවාහිනී පුනරූපණ නැරඹීම තෙවැනි විනිසුරුවරුන් කරනවා. විශේෂයෙන් රූපවාහිනි පුනරූපණ විනිසුරුවරයාගේ පැමිණීමත් සමග තෙවැනි විනිසුරුට ඒ හා සම්බන්ධ තාක්ෂණය පිළිබඳව වඩාත් පුළුල් දැනුමක් තිබිය යුතුයි. එම දැවීයාම, දැවීයාමක් නොකිරීමට කිසිදු සාක්ෂියක් තිබුණේ නැහැ. සියලුම සාක්ෂි ඉදිරිපත් වූයේ දැවීයාමක් ලෙසටයි. ඒ නිසා තෙවැනි විනිසුරුවරුන්, වීඩියෝ හා රූපවාහිනී තාක්ෂණ පිළිබඳ මීට වඩා පුළුල් පුහුණුවක් ලබාගත යුතුයි" යැයි පවසා සිටියේය.