දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (27දා) අවසන් වූ තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 07ක ජයක් ලැබීමට සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය. කෙසේ නමුත් තරග තුනකින් යුතු ටෙස්ට් තරගාවලිය තරග 2 -1ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකානුවන්ට හැකි විය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සිය දෙවැනි ඉනිමේදී ජයග්‍රහණය සඳහා ලකුණු 127ක ඉලක්කයක් හිමි වූ අතර, එම ඉලක්කය කඩුලු 03ක් පමණක් දැවී පසුකර යාමට ඔවුන් සමත් විය.
දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ඉකුත් බ්‍රහස්පතින්දා (24දා) ආරම්භ වූ අතර, එහිදී පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 259/9 ක් රැස්කර සිය පළමු ඉනිම අත්හිටුවීමට කටයුතු කළේය. මෙහිදී ඉනිම ඔසවා තැබීමට හුදෙකලා සටනක් දුන් නායක ෆෆ් ඩු ප්ලෙසිස් නොදැවී ලකුණු 118ක් ලබාගැනීමට සමත් විය. මෙය ඔහුගේ 06 වැනි ටෙස්ට් ශතකය විය.
කෙසේ නමුත් මෙහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම තම පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 383ක් රැස්කිරීමට සමත් විය. ආරම්භයේ සිටම ඉනිම ගොඩනැගීමේ වගකීම භාරගත් ආරම්භක පිතිකරු උස්මාන් කවජා ලකුණු 145ක් ඉනිමට දායක කළේය. මෙය කවජාගේ 05 වැනි ටෙස්ට් ශතකය විය.
ඉන් අනතුරුව ලකුණු 124ක් පසුපසින් සිටිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට යළි දෙවැනි ඉනිම ක්‍රීඩාකිරීමට සිදුවිය. කෙසේ නමුත් ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 126ක් දක්වා පමණක් ඉනිම ඉදිරියට රැගෙන යාමට හැකිවූ දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට, තම දෙවැනි ඉනිමේදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 250ක් පමණි. ආරම්භක පිතිකරු ස්ටීවන් කොක් මෙහිදී සාර්ථක වූ අතර, තම දෙවැනි ටෙස්ට් ශතකය ලබාගනිමින් ඔහු ලකුණු 104ක් රැස්කිරීමට සමත් විය.
ඔස්ට්‍රේලියානු ජයග්‍රහණයේ නියමුවා වූ උස්මාන් කවජා තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර, තරගාවලිය පුරා තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ වර්නන් පිලැන්ඩර් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.
ද. අප්‍රිකාව පළමු ඉනිම 259/9 (පන්දුවාර 76)
ෆෆ් ඩු ප්ලෙසිස් 118, ස්ටීවන් කුක් 40, කුයින්ටන් ඩි කොක් 24, ටෙබ්රායිස් ශම්සි නොදැවී 18, ජෝෂ් හැස්ලෙවුඩ් 4/68, මිචෙල් ස්ටාර්ක් 2/78, ජැක්සන් බර්ඩ් 2/57
ඔස්ට්‍රේලියාව පළමු ඉනිම 383/10 (පන්දුවාර 121.1)
උස්මාන් කවජා 145, ස්ටීවන් ස්මිත් 59, පීටර් හැන්ඩ්ස්කොම්බ් 54, මිචෙල් ස්ටාර්ක් 53, කේල් ඇබොට් 3/49, කාගිසෝ රාබඩා 3/84, වර්නන් පිලැන්ඩර් 2/100
ද. අප්‍රිකාව දෙවැනි ඉනිම 250/10 (පන්දුවාර 85.2)
ස්ටීවන් කුක් 104, හෂිම් අම්ලා 45, ජේ.පී. ඩුමිනි 26, ටෙම්බා බවුමා 21, මිචෙල් ස්ටාර්ක් 4/80, නේදන් ලයන් 3/60, ජෝෂ් හැස්ලෙවුඩ් 2/41
ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිම 127/3 (පන්දුවාර 40.5)
ඩේවිඩ් වොනර් 47, ස්ටීවන් ස්මිත් 40, මැට් රෙන්ශෝව් නොදැවී 34, කේල් ඇබොට් 1/26, ටෙබ්රායිස් ශම්සි 1/49