විස්සයි20 තරග 03කින් යුත් ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියේ පළමු තරගය අද (17දා) මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය. මෙම තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙන් දෙවන පෙළ කණ්ඩායමක් නම් කර තිබීමෙන් ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය පහසුවෙන් ජයගත හැකි යැයි නොසිතිය යුතුය. ඒ විශේෂයෙන් ඔස්ට්‍රේලියාව මවුබිම තුළදී පරාජයට පත්කිරීම සිතන තරම් පහසුවෙන් කළ හැකි දෙයක් නොවන බැවිනි. කෙසේ වෙතත් මේ වනවිට විස්සයි20 තරග තුළ ශ්‍රී ලංකාව ජයග්‍රාහී මානසිකත්වයක සිටින බව නම් පැහැදිලිය. ඒ නිමාවට පත්වූ දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි20 තරගාවලිය, තරග 2-1ක් ජයගෙන සිටින නිසාය.
අද පැවැත්වෙන තරගය පිළිබඳව අවධානය යොමු කළ හොත්, ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් ලෙස අපට හඳුනාගත හැකිවන්නේ නායක ආරොන් ෆින්ච් පමණි. එහෙත් ඔහුට අමතරව විස්සයි20 තරග විශේෂඥයන් ලෙස ට්‍රැවිස් හෙඩ්, මයිකල් ක්ලින්ගර්, පැට් කමින්ස්, ජේම්ස් ෆෝක්නර්, මොයිසස් හෙන්රික්ස්, ටිම් පේන් නම් කළ හැකිය. ඔවුන් ඔස්ට්‍රේලියානු වේග තණතීරු පිළිබඳව හා දිවා රාත්‍රී තරගවල ඔස්ට්‍රේලියාවේදී ක්‍රීඩාකළ යුතු ආකාරය පිළිබඳව හොඳින් අවබෝධයක් ඇති ක්‍රීඩකයන්ය. ඒ නිසා ඔස්ට්‍රේලියානුවන් අවතක්සේරු නොකර සිටීම නුවණට හුරුය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමට නවක ක්‍රීඩකයන් (විස්සයි20 තරග සඳහා) හයදෙනෙකු ඇතුළත් කර තිබේ. මයිකල් ක්ලින්ගර්, ජේයි රිචඩ්සන්, ඇෂ්ටන් ටර්නර්, ඇඩම් සම්පා, මොයිසස් හෙන්රික්ස්, බිලී ස්ටැන්ලේක් ඒ අතර වෙති. කෙසේ වෙතත් ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා අත්දැකීම් අතින් පසුවන්නේ පහළ මට්ටමකය. ශ්‍රී ලංකාවට මෙම නවක ක්‍රීඩකයන් අභියෝගයක් වන්නේද ඒ නිසාමය. විශේෂයෙන් ආරොන් ෆින්ච්, ට්‍රැවිස් හෙඩ්, බෙන් ඩන්ක්, මයිකල් ක්ලින්ගර් වැන්නවුන්ගේ ප්‍රහාරය හැකි ඉක්මනින් නවතාලිය යුතුය. එසේ නොවුණහොත් ශ්‍රී ලංකාවට මෙය හුදෙක් එක් සංචාරයක් පමණක් වනු ඇත.
ඔස්ට්‍රේලියානු පන්දු යැවීමද එතරම් ප්‍රබල තත්ත්වයක නොමැත. ඇඩම් සම්පාගේ දඟ පන්දුවත්, ජේම්ස් ෆෝක්නර්, පැට් කමින්ස් හා මොයිසස් හෙන්රික්ස්ගේ අවස්ථානුකූල වේග පන්දුවත් පාලනය කරමින් ඔවුනට පහරදීම සිදුකළ යුතුය. විස්සයි20 තරග ජයග්‍රහණය සඳහා වැඩිවශයෙන් අවශ්‍යවන්නේ ආක්‍රමණශීලී පන්දුවට වේගයෙන් පහරදීම හෙයින් ශ්‍රී ලංකාව පළමු පන්දුවේ සිට එය ක්‍රියාත්මක කළ යුතුය.
ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය සමබර හා ඉතා හොඳ සංචිතයක් බව කිව හැකිය.
ඒ බව පුහුණු තරගයේදී ලකුණු 169ක් හඹායමින් ජයගැනීමෙන් ශ්‍රී ලංකාව තහවුරු කළේය. කෙසේ වෙතත් පළමු තරගයට ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩකයන් 11 දෙනා අතරට පිතිකරුවන් 07ක්, තුන්ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනකු සමග පන්දු යවන්නන් 04 දෙනෙක් ක්‍රීඩා කිරීම උචිතය. හේතුව ඔස්ට්‍රේලියානු තණතීරු මතදී ලකුණු ඇතිතරම් ඇති හෙයින් පිතිකරණයට වැඩි ඉඩක් ලබාදිය යුතුය. ඒ අනුව තරංග, දික්වැල්ල, මුණවීර, මෙන්ඩිස්, කපුගෙදර, සිරිවර්ධන, ගුණරත්න පිතිකරුවන් ලෙසද මාලිංග, කුලසේකර, පතිරණ හා සඳකැන් පන්දු යවන්නන් ලෙසද පළමු තරගයට ක්‍රීඩා කළ යුතුය.
එහෙත් ඉසුරු උදානගේ මඳවේග පන්දුවත්, විකුම් සංජය පුහුණු තරගයේදී දැක්වූ දක්ෂතාත් නිසා ඔවුන්ට කණ්ඩායමේ ස්ථානයක් ලබාදුනහොත් පතිරණට හෝ සඳකැන්ට අවස්ථාව අහිමි වනු ඇත. එසේම පසුගිය තරග කිහිපයේදීම පිත්තෙන් දක්ෂතා දැක්වූ සීක්කුගේ ප්‍රසන්න අද තරගයට නම් කිරීමේ වැඩි ප්‍රවණතාවක් පවතින්නේ ඔහුට පා දඟ පන්දු යැවීමේ හැකියාවද පවතින හෙයිනි. සීක්කුගේ ප්‍රසන්න කණ්ඩායමට පැමිණියහොත් පිතිකරුවෙකුට සිය ස්ථානය අහිමිවනවා ඇත. ඒ නිසා තේරීම් කමිටුව කුසල් මෙන්ඩිස් කණ්ඩායමට නම් කිරීම පිළිබඳව දෙවරක් සිතා බැලීමට සිදුවේවි.
පිතිකරුවන් ලෙස නායක තරංග හා දික්වැල්ල උපරිම රිද්මයේ පසුවීමත් අසේල ගුණරත්න පසුපෙළින් පැමිණ දක්ෂතා දැක්වීමත් ඔස්ට්‍රේලියානුවන්ට හිසරදයක් වන බව නොඅනුමානය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනාගතහොත් පළමුව පන්දුවට පහරදී, විශාල ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත යුතුය. එවිට අත්දැකීම් අඩු ඔස්ට්‍රේලියනුවන්ට පීඩනය දැඩි කළ හැකිය.මෙල්බර්න් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවට වැදගත් ක්‍රීඩාංගණයක් වනුයේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් බහුතරයක් එහි වෙසෙන හෙයිනි.
විශේෂයෙන් මෙම තරගයේදී තරග නරඹන්නන්ගෙන් හරි අඩක් ශ්‍රී ලාංකිකයන් වුවහොත් එය පුදුම විය යුතු නැත. ඒ තරමට ශ්‍රී ලංකාවට මෙල්බර්න් ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළය. ඒ නිසාම ශ්‍රී ලංකාවට පළමු තරගය සිය මවුබිමේ තරග කරන තරගයක් ලෙස හැඟෙනු නොඅනුමානය.
ශ්‍රී ලංකා පන්දු යැවීම ලසිත් මාලිංගගේ ආගමනයත් සමග වඩාත් ශක්තිමත් වී තිබේ. වර්තමානයේ ලොව සිටින ප්රබලතම හා විස්සයි20 තරග සඳහා විශේෂඥයෙකු ලෙස ලසිත් මාලිංග හඳුන්වාදිය හැකිය. මාලිංග, කුලසේකර, විකුම් සංජය, ඉසුරු උදාන වේග පන්දුවෙන්ද ලක්ෂාන් සඳකැන්, මිලින්ද, ප්‍රසන්න හා සමිත් දඟ පන්දුවෙන්ද වැඩි යමක් කළ හැකි ක්‍රීඩකයන්ය. ඒ නිසාම පන්දු යැවීම හා පිතිකරණය යන අංශ දෙකෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම, ඔස්ට්‍රේලියානුවන්ට වඩා ඉදිරියෙන් පසුවීම ශ්‍රී ලංකාවට වාසියකි.එහෙත් විස්සයි20 තරග යනු අත්දැකීම් මතම යැපෙන ක්‍රීඩාවක් නොවේ. දිනයේ අඩුවෙන්ම වැරදි කරන කණ්ඩායමට එහිදී ජය හිමිවනු ඇත. කෙසේ වෙතත් මේ වනවිට ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර විස්සයි20 තරග 10ක් පවත්වා ඇති අතර, ඉන් තරග 06ක් ශ්‍රී ලංකාවද, තරග 04ක් ඔස්ට්‍රේලියාවද ජයගෙන තිබේ. ඒ නිසාම ශ්‍රී ලංකාවට සිය ජයග්‍රාහී මානසිකත්වය ඉදිරියට පවත්වාගෙන යාමේ අභියෝගයට මුහුණදීමට සිදුව ඇතැයි පැවසිය හැකිය.
මේ වනවිට ඔස්ට්‍රේලියාව විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවට වඩා ස්ථාන 03ක් ඉදිරියෙන් පසුවීම හා ඔස්ට්‍රේලියාවේදී තරගාවලිය පැවැත්වීම පමණක් ඔවුනට ධනාත්මක සාධක ලෙස පෙන්වා දිය හැකිය. ඔස්ට්‍රේලියාව ශ්‍රේණිගත කිරීම්හි 05 වැනි ස්ථානයේත් (ප්‍රසාද ලකුණු 114), ශ්‍රී ලංකාව එහි 08 වැනි ස්ථානයේත් (ප්‍රසාද ලකුණු 98) පසුවේ. එනිසා ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීමෙහි ඉදිරියට පැමිණීමටද මෙම තරගාවලිය අතිශය වැදගත්ය. කළයුතු වන්නේ කැන්ගරුවන් අවතක්සේරු නොකර ජයග්‍රාහී දඩයම පළමු තරගයේ සිටම ආරම්භ කිරීමය.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (17දා) ප.ව. 2.10 ට ආරම්භවේ.
තරග කාලසටහන
පෙබ.17 මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී (පළමු තරගය)
පෙබ. 19 වික්ටෝරියා ගීලෝන්ග් ක්‍රීඩාංගණයේදී (දෙවැනි තරගය)
පෙබ. 22 ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී (තෙවැනි තරගය)