දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩක සුරංග සම්පත්
ජීවිතයට නොසිතූ අයුරින් පැමිණෙන බාධක හමුවේ නොසැලී, ඉකුත්දා අවසන් වූ දෘශ්‍යාබාධිත වූවන්ගේ පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශතක පහක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට රැගෙන ඒමට මහියංගණ කෙසෙල්වත්ත පදිංචි සුරංග සම්පත් සමත්විය. තරගාවලිය තුළ සුරංග ප්‍රදර්ශනය කළ දක්ෂතා අද රටටම ආඩම්බරයක් වී ඇත. මේ වනවිට 29 වැනි විය ගෙවාදමමින් සිටින ඔහු පෞද්ගලික අංශයේ රැකියාව නිරතව සිටියි. 'තරුවක වගතුග සොයායන' සතියේ චාරිකාවෙන් මෙවර ඉඩ විවර වන්නේ ඔහුටයි.
Q ලෝක කුසලාන තරගාවලියේ දැක්වූ දක්ෂතා නිසා ඔබ ලාංකීය ක්‍රීඩා ලෝලීන්ගේ අවධානයට යොමුවූවා. ක්‍රිකට් ක්‍රීඩාවට සමානකමක් දක්වන ඔබගේ ක්‍රීඩාව ගැන පැහැදිලි කිරීමක් කළොත්?
මෙම ක්‍රීඩාව සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩාවට වඩා මඳක් වෙනස් වූ නීති රීති යටතේ සකස් වූ ක්‍රීඩාවක්. මෙහි ක්‍රීඩකයන් ප්‍රධාන කාණ්ඩ 03කට යටත්ව ක්‍රීඩා කරනවා. සම්පූර්ණයෙන් නොපෙනෙන (බී-1), අඩක් නොපෙනෙන (බී-2) සහ මඳක් පෙනෙන (බී-3) යන කාණ්ඩ තුන යටතේ ක්‍රීඩකයන් මෙහි සිටිනවා. මෙහි පන්දුව සාමාන්‍ය පන්දුවකට වඩා සුවිශේෂී වන අතර, එම පන්දුව ඇති කරන ශබ්දය තුළින් පන්දු දිශාව හඳුනාගනිමින් පිතිකරණයේ හා පන්දු යැවීමේ ක්‍රීඩකයන් නිරතව සිටිනවා.
ප්‍රධාන වශයෙන් වෛද්‍ය සහතික පරීක්ෂා කිරීමෙන් අනතුරුව, මෙම කාණ්ඩය විධිමත් අයුරින් සකස් කර කණ්ඩායම නම් කරනවා.
Q පෞද්ගලිකව ඔබ ක්‍රීඩාවට අවතීර්ණවීම පිළිබඳ කතා කළොත්?
මොනරාගල දෘශ්‍යාබාධිත පාසලේදී මම මූලික අධ්‍යාපනය හදෑරුවා. පාසල් ක්‍රිකට් කණ්ඩායමක් සකස්කර අපි දිවයිනේ නොයෙක් තරගාවලිවලට සහභාගි වී ජයග්‍රහණ දිනාගැනීමට සමත් වූවා. ඒ අනුව මා සතු දක්ෂතා නිසා 2014 වසරේදී මට ජාතික දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට එක්වීමට හැකියාව ලැබුණා. මට 2014 විස්සයි20 දෘශ්‍යාබාධිත තරගාවලිය සහ 2014 ආසියා කුසලාන තරගාවලියට සහභාගිවීමට හැකියාව ලැබුණා.
Q පසුගියදා නිමාවූ විස්සයි20 දෘශ්‍යාබාධිත වූවන්ගේ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ස්ථානය දිනාගැනීම ගැන මොකද හිතන්නේ?
අපි මෙම තරගාවලියේ රටවල් 09ක් සමඟ තරග කළා. එහිදී අපට අවසාන පූර්ව තරගය දක්වා පැමීණීමට හැකියාව ලැබුණා. එම තරගාවලියේ මම ශතක 05ක් ලබාගනිමින්, තරගාවලියේ (බී-3) කාණ්ඩයේ දක්ෂම ක්‍රීඩකයා බවට පත්වීමට හැකිවුණා.
Q තරගාවලිය සඳහා සහභාගි වූ අනෙකුත් කණ්ඩායම් පිළිබඳ ඔබ කුමන මතයක් දරන්නේද?
ඉන්දියාව හා පාකිස්තාන කණ්ඩායම් පරාජය කිරීම අපට ඉතා අපහසු කාර්යයක්. අනෙකුත් රටවල් සමග ජයග්‍රහණය කරා යාමට හැකි වුවත්, ඉන්දියාවේ හා පාකිස්තානයේ පන්දු යැවීම ඉතාම ඉහළ මට්ටමක තිබෙනවා.
Q තරගාවලියට යාමට පෙර සිදුකළ පුහුණුවීම් පිළිබඳ කතා කළොත්?
අපට දීර්ඝකාලීනව පුහුණුවීම් සිදුකිරීමට කාලයක් ලැබෙන්නේ නැහැ. තරගාවලි පැවැත්වීමට මාසයකට පමණ පෙර තමයි කණ්ඩායමේ ක්‍රීඩකයන් 15 දෙනා එක්ව පුහුණුවීම්වල නිරත වන්නේ. මෙය අන්තර්ජාතික තරගයකට සහභාගිවීම සඳහා ඉතා සුළු කාලපරිච්ඡේදයක්. මෙම කාලය තවත් දීර්ඝ කිරීම තුළින් තවත් දක්ෂතා අතරට යෑමට අපට හැකි යැයි අපේක්ෂා කරනවා.
Q ශ්‍රී ලංකාවට තෙවැනි ස්ථානය දිනාදීමෙන් පසු ඔබ කණ්ඩායමට ලැබුණු පිළිගැනීම මොනවගේද?
අප ලබාගත් ජයග්‍රහණයත් සමග අපට උණුසුම් පිළිගැනීමක් හිමිවුණා. සෑම මාධ්‍ය ආයතනයක්ම පාහේ තරගාවලිය තුළ අපට ලොකු සහයෝගයක් වගේම, අපි නැවත දිවයිනට පැමිණෙන විටදී පවා ගුවන් තොටුපළට පැමිණ සිටියා. නමුත් අමාත්‍යාංශයෙන් නම් කිසිම නිලධාරියෙකු පැමිණ සිටියේ නැහැ. දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්රීඩිවට ලංකාව තුළ එතරම් පිළිගැනීමක් නොතිබුණත්, වෙනත් රටවල ඉහළ පිළිගැනීමක් හිමිවෙනවා. නමුත් අප ලබාගත් මෙම ජයග්‍රහණයත් සමග දැන් අප රට තුළද විශේෂ අවධානයක් දෘශ්‍යාබාධිත ක්‍රිකට් පිළිබඳව ඇතිවී තිබෙනවා.
Q ක්‍රීඩාව අපහසුවකින් තොරව කරගෙන යාමට, ලැබෙන සහයෝගය පිළිබඳ මතක් කළොත්?
අපි පැරා ඔලිම්පික් කණ්ඩායමක් වශයෙන් තමයි රට නියෝජනය කරමින් තරගවලට සහභාගි වන්නේ. නමුත් රැකියාවත් සමග ක්‍රිකට් ක්‍රීඩාව සිදුකිරීම තරමක් අපහසුයි. ජීවත්වීමට රැකියාවෙහි නිරතවීම අනිවාර්යෙන්ම අවශ්‍ය නිසා, රැකියාවට මූලිකත්වය දෙන්න සිදුවෙලා තිබෙනවා. මේ හේතුව නිසාම මම කාලයක් ක්‍රිකට්වලින් ඉවත්වෙලත් සිටියා.
කෙසේ නමුත් නැවත ක්‍රිකට්වලට පැමිණ, මෙවැනි අන්තර්ජාතික තරගාවලියක තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගැනීමට හැකිවීම ගැන සතුටු වෙනවා. ඒ වගේම ක්‍රිකට් ආයතනය හෝ වෙනත් ආයතනයක් අපට උපකාර කරන්නේ නම්, ක්‍රීඩාව තුළින් තව තවත් ඉදිරියට යාමට අපට හැකි වේවි කියා විශ්වාස කරනවා.
Q ආනාගතය පිළිබඳ මොනවද කියන්න තියෙන්නේ?
ආර්ථික කාරණා මත මම පෞද්ගලික අංශයේ රැකියාවක දැනට නිරත වී සිටිනවා. නමුත් රැකියාව අතරතුර කාලයේ ක්‍රීඩා පුහුණුවීම් කටයුතුවලට සහභාගිවීම මහත් දුෂ්කර කාර්යයක්. නමුත් ලැබූ ජයග්‍රහණයක් සමග දිගටම ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරනවා. ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රිකට් ආයතනය සමග මේ ගැන සාකච්ඡා කර ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම නගාසිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරනවා.
ඒ වගේම අපට ලැබෙන පුහුණුව ඉතාම සීමිතයි. විධිමත් තාක්ෂණික පුහුණුවක් තුළින් ඉදිරි තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි කරවීම තුළ මීට වඩා ඉහළ දක්ෂතා දැක්වීමට හැකි යැයි මා සිතනවා.
ෂෙහානි දිල්රුක්ෂිකා