ක්‍රීඩා පනතේ වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වයට ජාතික ඔලිම්පික් සංගමයට අනුබද්ධ ක්‍රීඩා සංගම් සම්පූර්ණයෙන් වගකිවයුතු බව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි.
එසේම වත්මන් ක්‍රීඩා පනතේ ජාතික සංගම්වල ස්වාධීනත්වයට අහිතකර රෙගුලාසි දහයක් හඳුනාගෙන තිබෙන බවත්, එම සියල්ල සංශෝධනය කරන තෙක් සටන් කරන බවත් ඒ මහතා පවසා සිටියේය.
ක්‍රීඩා පනතේ ක්‍රියාකාරීත්වය හා නිලවරණ පැවැත්වීම පිළිබඳව ජාතික ඔලිම්පික් කමිටුවෙහි ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා ජාතික ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේ ඊයේ (07දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී සභාපතිවරයා මෙම අදහස් දක්වා සිටියේය. තවදුරටත් අදහස් දැක්වූ ප්‍රනාන්දු මහතා,
"ක්‍රීඩා පනතේ ඇති වී තිබෙන තත්ත්වයට සම්පූර්ණයෙන් වගකියන්න ඕන ජාතික ඔලිම්පික් කමිටුවට අනුබද්ධ වෙලා ඉන්න ක්‍රීඩා සංගම්. හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා එක්කත් මේ හේතු නිසා ඍජුවම අපට ගැටුමකට යන්න සිදුවුණා. අපි තේරුම්ගත්තා ක්‍රීඩා පනතට ඇතුළත් කරලා තිබෙන නව රෙගුලාසිවලින් දහයක් ඍජුවම ජාතික සංගම්වල ස්වාධීනත්වයට හානිකර විදියට බලපානවා කියලා. නමුත් ජාතික සංගමයට අනුබද්ධ වෙලා ඉන්න ක්‍රීඩා සංගම් රැසක් පසුගිය ක්‍රීඩා අමාත්‍යවරයාට අනුබල දුන්නා මෙම සංශෝධනවලට" යැයි පවසා සිටියේය.
"හිටපු ඇමතිතුමා වැඩක් කළ හැකි පුද්ගලයෙක්. ජාතික සංගම් නිලධාරීන් ඔහුව විනාශ කළා. එතුමා (හිටපු ක්‍රීඩා ඇමති) අපි කියපු දේටත් ඇහුම්කන් දුන්නේ නැහැ. නැවත දෙපාර්ශ්වය එකඟතාවකට ඇවිත් මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා කළත් මැතිවරණයෙන් පසු එම කටයුතු නැවත ඇනහිටියා. නමුත් නව ක්‍රීඩා අමාත්‍යවරයා සමග මේ වනවිට සාකච්ඡා කරලා පැවැති ගැටලුවලට විසඳුම් ලැබෙමින් තිබෙනවා. එමනිසා සති දෙකක් ඇතුළත විසඳුමක් ලබාගත හැකිවෙයි කියලා හිතනවා.
අද වනවිට ජාතික සංගම්වලට ගැටලුවක් වෙලා තියෙනවා වසර හතරේ නීතිය. එය සම්පූර්ණයෙන් වැරදියි. නමුත් එය අපි නව ක්‍රීඩා පනතේ අනුමත නොකළ රෙගුලාසිවලින් එකක් පමණයි. එම සියල්ලම වෙනස් කරන තෙක් අපි සටන් කරනවා" යනුවෙන්ද ප්‍රනාන්දු මහතා පවසා සිටියේය.
මෙම අවස්ථාවට ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ඇතුළු එම කමිටුවේ සාමාජිකයන් කිහිප දෙනෙක්ද සහභාගී වූහ.
ඡායාරූප ඉසුරු පෙරේරා