දේශපාලනය රග්බි ක්‍රීඩාවට පැමිණ තිබෙන බවත් තම සොහොයුරන් වන යෝෂිත රාජපක්ෂට හා රෝහිත රාජපක්ෂට දුරකථනයෙන් කතා කර රග්බි පුහුණු සඳහා එක්නොවන ලෙසට දන්වා තිබෙන නමුත් ඒ සඳහා හේතුවක් ඉදිරිපත් කර නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ හිටපු නායක නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
ඒ අනුව සිය සොහොයුරන්ගේ මෙන්ම තමන්ගේද රග්බි ක්‍රීඩා දිවිය අවසන් අදිරයට පැමිණ තිබෙන බව සිය බ්ලොග් අඩවිය (www.namalrajapaksablog.com) හරහා නිවේදනයක් නිකුත් කරමින් නාමල් රජපක්ෂ සඳහන් කරයි.
"මම මෙන්ම මගේ සහෝදරයන් රග්බි ක්‍රීඩාවට ආදරය කළා. අවුරුදු හයේදී රග්බි ක්‍රීඩාව ආරම්භ කර පාසල් කාලසීමාවේදී මෙන්ම විශ්වවිද්‍යාල කණ්ඩායම්වල නායකත්වය දැරුවා. අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා. ක්‍රීඩාවෙන් සතුටක් ලබන අතරෙ ඒ වෙනුවෙන් යමක් කිරීමට අප උත්සාහ කළා. ඒ අනුව විදෙස් ක්‍රීඩකයන් ලංකාවට ගෙනත් තරුණ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබාදෙන්න උත්සාහ කළා." යැයි නාමල් රාජපක්ෂ සිය බ්ලොග් අඩවියේ සඳහන් කරයි.
"අපගේ ක්‍රීඩා දිවියේ අවසානයට ළඟාවී තිබෙනවා. අපට බොහෝ දේවල් දුන්න ක්‍රීඩාවට අපි යමක් දෙන්න උත්සාහ කළා. මම හිතනවා ඒ දේවල් ක්‍රීඩාවේ දියුණුවට පොඩි හරි දායකත්වයක් ලබාදුන්නා කියලා. ජනවාරි මුල පැවැති මැතිවරණයෙන් පසුව තිත්ත මෙන්ම පළිගන්නා දේශපාලනය ක්‍රීඩාවට ඇවිත් තිබෙනවා. ක්‍රීඩාවේ දීප්තිය දේශපාලන ගැටුමක් නිසා නැතිවීමට ඉඩ නොදෙමින් ඉල්ලීමට ගරු කරමින් මෙන්ම එය ප්‍රශ්න නොකරමින් අපි ඒ තීරණය ගත්තා. සමහරුන්ට රග්බි දේශපාලනයේ කොටසක් වුණා. නමුත් අපට ඒක, අප ආදරය කළ ක්‍රීඩාවක් වුණා." යැයි නාමල් සඳහන් කරයි.
එසේම සහෝදරයන් වෙනුවෙන් මෙන්ම තමන් වෙනුවෙන් සිය රග්බි ක්‍රීඩා දිවිය තුළ සහාය දැක්වූ සියලු දෙනාට ස්තූතිවන්ත වන බව නාමල් රාජපක්ෂ සිය බ්ලොග් අඩවියේ වැඩිදුරටත් සඳහන් කර තිබුණි.