ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා වසරකට රුපියල් ලක්ෂ 6ක් ඉපයීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවස්ථාව ලබාදී ඇති බවත් ඔවුන්ට දිනකට ගෙවන මුදල රුපියල් 2500සිට රුපියල් 7500 දක්වා වැඩිකිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි මහතා පැවසීය.
එසේම පළමු පෙළ ක්‍රීඩකයන් වැඩි වැඩියෙන් ක්‍රීඩාකර එම ඉපැයීම වසරකට ලක්ෂ 6 සීමාවේ සිට වසරකට රුපියල් මිලියන දෙක දක්වා වර්ධනය කරගත හැකි බවත් පැවසීය.
එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ගිවිසුම්ගත ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව ක්‍රීඩකයන් 104 සිට 41 දක්වා අඩුකළ බවත්, එම ගිවිසුම්ගත ක්‍රීඩකයන් අතරන් ඉදිරියෙන්ම පසුවන ක්‍රීඩකයන් 17 දෙනා වෙනුවෙන් කරන ගෙවීම රුපියල් මිලියන 96 සිට රුපියල් මිලියන 130 දක්වා වර්ධනය කළ බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ මසක ප්‍රගතිය මාධ්‍ය වෙත පැවසීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ (08දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික එල්. විජේවර්ධන මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රාජ්‍ය බැංකුවකින් අයදුම් කළ බැංකු අයිරාව ගෙවූ බවත් මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රුපියල් මිලියන 195ක මුදල් අතිරික්තයක් තිබෙන බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනවශ්‍ය වියදම් කපාහැරීමෙන් මෙම මුදල් ඉතිරිකර ගත හැකිවූ බව භාණ්ඩාගාරිකවරයා සඳහන් කළේය.
එළැඹෙන පාකිස්තාන ක්‍රිකට් තරගාවලිය සඳහා මීට ඉහතදී අයවැය ලෙස ඉදිරිපත් කළ මුදලින් රුපියල් මිලියන 25ක ඉතිරියක් ලබාගැනීමට හැකිවූ බවත් සභාපතිවරයා අනාවරණය කළේය.
විශේෂයෙන්ම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් ඉදිරියේදී ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දෙන බවත්, ඒ ආකාරයෙන්ම විනිසුරුවන්ට, නිලධාරීන්ටද ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දෙන බවත් සභාපතිවරයා පැවසුවේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනය අංක එක ලෙස සලකන බව පැවසූ සභාපතිවරයා, යම් ක්‍රීඩකයෙකු විනය කඩකළහොත් ඒ සඳහා නිසි පියවර ගැනීමට පසුබට නොවෙන බවත් සඳහන් කළේය.
ඛෙත්තාරම ක්‍රීඩාංගණය සඳහා ගෘහස්ථ විකට්ටුවක් හා පිහිනුම් තටාකයක් ඉදිකිරීමේ කටයුතු ජූලි මසදී ආරම්භ කරන බව පැවසූ සභාපතිවරයා, පසුව එම පහසුකම් පල්ලෙකැලේ හා දඹුල්ල ක්‍රීඩාංගණ වෙතටත් ඉන් අනතුරුව හම්බන්තොට ක්‍රීඩාංගණයට ලබාදෙන බවත් පැවසීය.
සී.එස්.එන්. රූපවාහිනියට විකාශන අයිතිය ලබානොදීමට ගත් තීරණය පිළිබඳව අදහස් දැක්වූ සභාපතිවරයා පැවසුවේ, ඒ සඳහා විවිධ හේතු බලපෑ බවත්, මූල්‍ය කරුණු මෙන්ම ප්‍රේක්ෂකයන් පිළිබඳවද අවධානය යොමු කළ බවයි. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි ක්‍රියාමාර්ග 15ක් ඇතුළත් සැලසුමක්ද මාධ්‍ය වෙත ඉදිරිපත් කළේය.
ඡායාරූප- ජයමාල් චන්ද්‍රසිරි