ශ්‍රී ලංකාව තුළ එතරම් ජනප්‍රියතාවක් ඇති බව නොපෙනුණද, මෝටර් රේසිං හෙවත් මෝටර් රථ ධාවන තරගාවලි සඳහා මේ වනවිටත් විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ඇති බව නොරහසකි. මෙරට තුළ වසරකදී පවත්වන තරගාවලි නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් මෙන්ම රූපවාහිනී මගින්ද වැඩි ප්‍රේක්ෂක පිරිසක් මෙම ක්‍රීඩාව හරහා එක්රොක් වී සිටිති.
නමින් ටිරෝන් හෙන්දවිතාරණ වන ඔහු, පසුගිය වසරේ සුබාරු ලෙගසි අංශයෙන් ස්ලාඩා ශූරතාවට හිමිකම් කීමට සමත්වූ අතර, මේ වනවිට ඔහු එම ක්‍රීඩාවේම නව මානයකට පිවිස ඇත. අද අපගේ 'තරුවක වගතුග සොයනා සතියේ චාරිකාවෙන්' ඩෙරික් එක්කර ගත්තේය.
Q ක්‍රීඩාවේ ආගමනය හා මේ දක්වා ලබා ගත් ශූරතාව පිළිබඳ මතක් කළොත්?
මෝටර් රේසිං ක්‍රීඩාවට අත්පොත් තිබ්බේ 2011 වර්ෂයේදී මාතලේ එළියකන්ද හිල් ක්ලයිම්බ් තරගාවලියෙන්. ඒ හෂේන් පීරිස් කියන මගේ යාළුවෙකුගේ මාර්ගයෙන්. මුලින්ම මම නියෝජනය කළේ සුබාරු ලෙගසි කාණ්ඩයයි. ඒ අංශයෙන් මේ දක්වා කුසලාන 37ක් මට තියෙනවා. ඊට පසුව එස්.එල්.ජී.ටී. (සුපර් කාර්) අංශය නියෝජනය කළා. මේ වසරේදී ඒ අංශයෙන් පමණක් තරග වදින්න සූදානමින් ඉන්නවා.
Q මෝටර් රථ ක්‍රීඩාවට යොමුවීමට විශේෂ හේතුවක් තිබුණාද?
මම පොඩි කාලෙ ඉඳන්ම රේස්වලට ආසාවක් තිබ්බා. ඒ කාලෙ ඉඳන් තරග නරඹනවා. පස්සෙ තමයි මට හිතුණෙ රේසිං කාර් එකක් අරන් පදින්න ඕන කියල. ඒ ආසාවත් එක්ක පළවෙනි පියවර තමයි එළියකන්ද හිල් ක්ලයිම්බ් තරගාවලියට ඉදිරිපත්වීම.
Q ඔබ සුබාරු අංශයෙන් දැක්වූ දක්ෂතා මොනවාද?
පසුගිය වර්ෂයේදී මම සුබාරු අංශයේ සමස්ත ලංකා ස්ලාඩා ශූරතාව දිනාගත්තා. ඊට අමතරව එම වසරේ පැවැත්වූ තරගාවලි හතෙන්, හතරකදී ශූරතාව දිනාගැනීමට හැකියාව ලැබුණා.
Q ගෙවුන තරගාවලියේදී ඔබට අභියෝගයක් වුණේ කවුද?
සුබාරු - ලෙගසි අංශයෙන් මාලික කුරුවිටආරච්චි තමයි මට ලොකුම අභියෝගය වුණේ. ඒ වගේම මලින්ද ගුණසේකර, චවී ධර්මවර්ධන වගේ අයද මාත් සමග කරට කර තරග වදිනවා.
Q ඔබ ක්‍රීඩා කරන සුපර් කාර් අංශයට යොමු වූ ආකාරය පැහැදිලි කළොත්?
2013 වර්ෂයේදී තමයි මම සුපර් කාර් අංශයට යොමුවුණේ. ඉන්පසු 2015 හා 2016 වර්ෂවලද මෙම අංශ දෙකෙන්ම (සුබාරු- සුපර් කාර්) තරග වැදුණා. නමුත් පසුගිය වසරේ සුපර් කාර් ඉසව්වේදී මගේ රථයේ දෝෂයක් වූ නිසා, එතැන් සිට සුබාරු අංශයට පමණක් යොමුවුණා. මේ වසරේදී මම සුබාරු අංශයට සමුදී සුපර් කාර් අංශයට වැඩි අවධානයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද තරගාවලියට එක් තරග ඉසව්වකින් තරග දෙකක් තියෙන නිසා ඒකට බොහොමයක් මහන්සි වෙන්න අවශ්‍යයයි.
Q සාමාන්‍යයෙන් මෝටර් රේසිං ක්‍රීඩාවේ ධාවකයන් සඳහා අනුග්රාහකයන් සීමිතයි. එය ඔබට බලපෑ ආකාරය?
පසුගිය වර්ෂයේදී සුබාරු අංශයයෙන් තරග වදිද්දි එක්සයිඩ් ආයතනය අනුග්‍රාහකත්වය දැක්වුවා. නමුත් මේ වසරේදී මම ඒ අංශයට සහභාගි නොවන නිසා, ඔවුන් මට අනුග්‍රාහකත්වය දක්වන්නෙ නෑ. එමනිසා මේ වසරේදී මට පවුලේ අනුග්‍රහය පමණයි ලැබෙන්නෙ.
Q ඔබ සහභාගි වූ ඉසව් ද්විත්වයෙන් වඩාත්ම ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් වූ අංශය?
සුබාරු අංශයට වඩා එස්.එල්.ජී.ටී අංශයට ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය වැඩියි. මොකද වේගය හා එන්ජින් ධාරිතාව වැඩි නිසා. මේ අංශයට හොඳ ප්‍රේක්ෂක පිරිසක් දැන් ලංකාවේ බිහිවෙලා ඉන්නවා.
Q ඔබ දැන් තරග වදින ඉසව්වට සුබාරු අංශයෙන් තරග කිරීමත් හේතුවන්න ඇති?
මම දකින්නේ සුපර් කාර් ඉසව්වට එන්න කෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, ඒ සඳහා සුදුසුම ඉසව්ව තමයි සුබාරු ලෙගසි ඉසව්ව. මොකද තරගාවලියේ සිව්සක (Four Wheel) ඉසව්වලට තියෙන්නෙ මේ අංශ දෙක විතරයි. එස්.එල්.ජී.ටී. ඉසව්වලට පිවිසෙන්න ඉන්න ක්‍රීඩකයෙක් මුලින්ම සුබාරු ලෙගසි අංශයට යොමු වුණොත් එයාට ඒ අංශයෙන් ඉදිරියට යන්න තියෙන හැකියාව වැඩියි. මමත් එස්.එල්.ජී.ටී. ඉසව් වලට ආවට පස්සෙ ආධුනික කෙනෙක්ට වඩා ජයග්‍රහණ ප්‍රමාණයක් ගන්න මට පුළුවන් වුණේ ඒ නිසයි.
Q ලංකාවෙන් මෙම අංශයෙන් බිහිවූ හා වත්මන් ධාවකයන් ගැන මොකද හිතෙන්නෙ?
ඔව් ගොඩක් දක්ෂ ධාවකයෝ මේ අංශයෙන් තරග වදිනවා. විශේෂයෙන් පසිඳු පීරිස්, උෂාන් පෙරේරා, දිනේෂ් ජයවර්ධන, ජනක ඩයස් වගේ ක්‍රීඩකයන් මේ අංශයට තරග වදිනවා. ඔවුන් ගොඩක් දක්ෂයි. ඒ වගේම මේ වෙනකොට අපි පටන් ගත් කාලයට වඩා නවක ධාවකයන්ගේ කාල ගණනයත් හොඳයි. විශේෂයෙන් මෝටර් රථවලට නව අංගෝපාංගත් මේ වෙනකොට ඇවිල්ල තියෙනවා.
Q අත්දැකීම් සහිත ධාවකයෙක් විදිහට මෝටර් රේසිං ක්‍රීඩාවට ලංකාවේ ඇති ආකර්ෂණය?
මම හිතන්නේ ක්‍රිකට්වලට පස්සෙ වැඩියම ජනතා ආකර්ෂණයක් තියෙන ක්‍රීඩාව තමයි මෝටර් රේසිං ක්‍රීඩාව. මොකද ෆොක්ස් හිල් තරගාවලියට ලක්ෂයකට අධික ප්‍රේක්ෂක ප්‍රමාණයක් ඉන්නවා. එමනිසා මට හිතෙනවා ක්‍රිකට්වලටත් වඩා වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් මෝටර් රේසිං ක්‍රීඩාවට තියෙනවා කියල. ඒ වගේම රේසිං ක්‍රීඩා ගොඩක් පවත්වන්නෙ ආරක්ෂක අංශයේ කඳවුරුවල නිසා, ලංකාවේ තියෙන ආරක්ෂක කඳවුරුත් මෙමගින් ජනප්‍රිය වෙනවා.
Q ප්‍රේක්ෂක ආකර්ෂණයට සාපේක්ෂව රජයෙන් අනුග්‍රහයක් තියෙනවද?
ක්‍රිකට්වලට සාපේක්ෂව නම් ගොඩක් අඩුයි. ඒ වගේම ක්‍රීඩා සමාජවලින්වත් තරග සංවිධානය වෙනව හැරෙන්න ධාවකයන්ට අනුග්‍රහයක් දක්වන්නෙ නෑ. අනික මේක අධික වියදමක් දැරීමට සිදුවන ක්‍රීඩාවක්. මෙහි ආධුනික ක්‍රීඩකයෙක්ට පවා මෝටර් රථයක් අලුත්වැඩියා කරගන්න විශාල පිරිවැයක් දැරීමට සිදුවෙනවා.
අනිත් වැදගත්ම කාරණේ තමයි අපේ කාර් එකක් නඩත්තුවට පිට රටින් ගේන අමතර කොටස්වලට රජයෙන් ලොකු බද්දක් ගහනවා. ඒක සමහර විට අමතර කොටස්වල වියදමෙන් සියයට පනහක් විතර වෙනවා. එමනිසා මම නම් කියන්නෙ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මැදිහත් වෙලා, ක්‍රීඩකයින්ට බදු සහනයක් ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළොත් මේ ක්‍රීඩාව තවත් දියුණු කරන්න පුළුවන්.
Q ලංකාවෙ තියෙන ධාවන පථ (ට්‍රැක්) ලෝක මට්ටමට සාපේක්ෂව තිබෙන තත්ත්වය කොහොමද?
වෙලාවට රේස් එකක් තියෙද්දී ට්‍රැක් එකක් නියම ආකාරයෙන් සකස් කරන්නෙ කොහොමද කියන එකවත් සංවිධායකයන් දන්නෙ නැති අවස්ථා තිබ්බා. නමුත් මම දකින විදිහට පහුගිය වර්ෂයේ ඉඳන් ට්‍රැක් ටික නම් හොඳින් සකස් වෙනවා. ඒ වගේම ලෝක මට්ටමට සාපේක්ෂව ලංකාවෙ ට්‍රැක් දැන් හොඳ වේගෙන එනවා.
Q ඔබ ආපු ගමනේ උදවු කරපු අය මතක් කළොත්?
මට මුලින්ම උදව් කළේ මගේ තාත්තයි අම්මයි. ඔවුන් දෙන්නා තමයි මට කාර් එක ගන්න උදවු කළේ. හැමෝම මම මේ ක්‍රීඩාවට එනවට බය වුණා. මම මගේ මුල්ම රේස් එකත් පැද්දෙත් ගෙදරට හොරෙන්. තාත්ත මුලින්ම ගොඩක් රේස්වලට විරුද්ධ වුණාට, එයා තමයි කාර් එකට අවශ්‍ය අමතර කොටස් ගෙන්නන්න මූලික වුණේ.
අද ඔහු ජීවිතුන් අතර නැති වුණත්, ඔහු මට විශාල උදවුවක් කළා. ඊළඟට හෂේන් පීරිස් කියන මගේ යාළුවා. මගේ වාහනේ ගත්තට පස්සෙ ගොඩක් කාර් එක හදන්න උදවු කළේ. ඒ වගේම මංගල පුෂ්පකුමාර හා මනෝජ් අමතක කළ නොහැකි අය. මගේ කාර්එක තරගකාරී මට්ටමටමට එන්න උදවු කරන්නෙ නිලංක හා නදීර ජිනසේනයි.
Q රේසිං ක්‍රීඩාවට එන අයට දෙන්න පුළුවන් අවවාදය?
දෙන්න පුළුවන් ලොකුම අවවාදය තමයි රේසිංවලට පිවිසෙන්න ඕන තමන් ක්‍රීඩකයෙක් කියල හිතාගෙන තරග කරන්නයි. අනිත් එක රේසිං කියන්නෙ ලංකාවෙ තියෙන්න හොඳම ක්‍රීඩාවක්. මේකට අලුතින් එන ඕනෑම ක්‍රීඩකයෙක්ට මම උදව් කරන්න ලෑස්තියි. මොකද සුබාරු ලෙගසි එක හැදුවෙ අපි හැමෝම එකතු වෙලා. අලුතින් එන අය සහයෝගයෙන් වැඩ කළොත් ලංකාවෙ ක්‍රිකට්වලට වඩා මේක ජනප්‍රිය වෙයි කියල මම හිතනවා.
- නම - ඩෙරික් ටිරෝන් හෙන්දවිතාරණ
- වයස -31
- ශූරතාවන් - 37
- ඉසව්ව - සුබාරු ලෙගසි - (2011-2016), එස්.එල්.ජී.ටී. (සුපර් කාර්)- 2017