පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රමුඛතාව ලබාදෙමින් එක්දින ලෝක කුසලානය ජයගැනීමට කටයුතු කරන බවත්, ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මින් ඉදිරියට තමන්ට පැවැරී ඇති කාර්යභාරයන් පමණක් සිදුකළ යුතු බවත්, එසේ නොමැතිව තමන්ට අයිති නැති කාර්යන් සිදුකිරීමට ගියහොත් ඔවුන් එරෙහිව පියවර ගන්නා බවත් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
සිය ධුරයේ වැඩභාරගනිමින් ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (22දා) පැවැති උත්සවයේදී හෙතෙම මෙම අදහස් පළකර සිටි අතර, එහිදී ඉදිරි දින කිහිපයේදී සෙසු ක්‍රීඩාවලට සාපේක්ෂව තමන් නුදුෙර්දීම ආරම්භවන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ප්‍රමුඛතාව ලබාදෙන බවත් පවසා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"පසුගිය කාලයේ ආන්දෝලනාත්මක කරුණු රැසකට ක්‍රීඩා ක්ෂේත්රය ලක්වූවා. විශේෂයෙන් වංචා, දූෂණ හා අක්‍රමිකතා සිදුවූ බවට කටකතා තිබෙනවා. නමුත් මම කැමති නැහැ මිනිස්සුන්ට නිකරුණේ ඇඟිල්ල දික්කරන්න. මටත් තොරතුරු ලැබිලා තිබෙනවා යම් යම් අක්‍රමිකතා වෙලා තියෙනවා කියලා. අපටත් සොයාගන්න අවශ්‍යයි මේ දේවල් සිදුවුණේ කොහොමද කියලා. එමනිසා ක්‍රීඩා අමාත්‍යාංශයේ අක්‍රමිකතා සිදුවෙලා තියෙනවානම් ඒ ගැන කරුණු සෙවීමට ලබන සතිය ඇතුළත කමිටුවක් පත්කර, මාසයක් අතුළත වාර්තාවක් ලබාගැනීමට කටයුතු කරනවා.
මගේ පියා (දිවංගත ගාමිණී දිසානායක මහතා) ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සුවිශේෂි කාර්යභාරයක් කළා. දැන් ක්‍රිකට් ආයතනය තියෙන්නේ මගේ යටතේ. අපට ක්‍රිකට් ලෝක ශූරයන් වීමට හැකිවුණා. එමනිසා පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රමුඛතාව ලබාදීලා නැවතවතාවක් ලෝක ශූරයන් වීමට අවශ්‍ය මගපෙන්වීම ලබාදෙනවා. ක්‍රිකට් ආයතනයේ අනවශ්‍ය වියදම්, දූෂණ අක්‍රමිකතා මගේ කාලයේදී සිදු නොවිය යුතුයි. වචනයට පමණක් සීමා නොවී විශේෂයෙන් එවැනි දේ ගැන මින් ඉදිරියට සොයා බලනවා.
ක්‍රිකට් ආයතනයට පත්ව සිටින්නේ නිලවරණයකින් තේරී පත්වූ නිලධාරී මණ්ඩලයක්. එමනිසා නිලවරණයක් නොමැතිව කිසිදු නිලධාරියෙකු වෙනස් කරන්න බැහැ. නමුත් ක්‍රිකට් ආයතනයද ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පාලනය වන නිසා ඔවුන් මගේ උපදෙස් පිළිපැදිය යුතුයි. විධායක කමිටුවේ සියලුදෙනාට මම දැනුම්දෙනවා ඔවුන්, ඔවුන්ට පැවරී තිබෙන කාර්යයන් පමණක් සිදුකරන ලෙස. එසේ නොමැතිව එක් නිලධාරියෙකුට හෝ දෙදෙනෙකුට අනෙක් නිලධාරීන්ගේ කාර්යයන් කරන්න බැහැ. එමනිසා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට මම පැහැදිලිවම දැනුම්දෙනවා මගේ උපදෙස් පිළිනොපැද අනෙක් අයගේ කාර්යයන් කරන්න ගිහින් මාව දෙවැනි පියවරකට ගෙනියන්න එපා කියා. දින සියයෙන් අනතුරුව මට නැවතත් ක්‍රීඩා අමාත්‍යාංශයේම වැඩකටයුතු සිදුකිරීමට හැකියාව ලැබුණොත් මලල ක්‍රීඩා, පාපන්දු ක්‍රීඩා ඇතුළු අනෙකුත් ක්‍රීඩා නගාසිටුවීමටද අවශ්‍ය පියවර ගන්නවා" යැයිද පවසා සිටියේය.