ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයකට එක්වෙන බවට පළවන වාර්තා ක්‍රීඩා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර තිබේ.
පාකිස්තානයේ එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත් සේවය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා උපුටා දක්වමින් වාර්තා කරඇත්තේ, පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයෙන් ලැබුණු ආරාධනාවකට අනුව යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම හා යොවුන් ක්‍රිකට් කණ්ඩායම තරගාවලියක් සඳහා පාකිස්තානයට යැවීමට සූදානමින් සිටින බවය.
නමුත් ඒ සඳහා තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව පවසන ක්‍රීඩා අමාත්‍යවරයා, ජාතික ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට යැවීමට කිසිදු තීරණයක් මේ දක්වා ගෙන නොමැති බවද වැඩිදුරටත් පවසා තිබේ.
2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත්‍රස්තප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙන්ම ටෙස්ට් ක්‍රීඩා කරන කිසිදු රටක් පාකිස්තානයේ තරග සංචාරයකට එක්නොවීය. පාකිස්තානය විසින් සත්කාරකත්වය දරන තරග මැදපෙරදිගදී පැවැත්වේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසා ඇත්තේ ජාතික කණ්ඩායම පාකිස්තානයට යැවීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, පාකිස්තානයට උපකාර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිරන්තරයෙන් සූදානම්ව සිටින බවත්ය.
ජාතික කණ්ඩායම පාකිස්තානයට කැඳවා ගැනීම සඳහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීම් සිදුකර ඇති බවද ලේකම්වරයා තහවුරු කර තිබේ.