'ක්‍රිකට් ඒඩ්' වැඩසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉදිරිපත් කළ අගය කළ යුතු වැඩසටහනක් වුවත් එම වැඩසටහනෙහි මූලික ක්‍රියාදාමය පිළිබඳව විවිධ පාර්ශ්ව චෝදනා කරති. මෙහිදී එය ඇපයෙන් සීමිත සමාගමක් ලෙස 'ක්‍රිකට් ඒඩ්' (ගරන්ටි) ලිමිටඩ් ලෙස 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇත්තේ මෙම වසරේ මැයි මස 16 වැනිදාය.
ඊට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයන් 10 දෙනෙකු අත්සන් තබා ඇති අතර, ඔවුන් අත්සන් තබා ඇත්තේ ක්‍රිකට් ආයතනයේ දරන තනතුරු පදනම් කරගෙන නොවේ. එහිදී ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයන් කිසිවකුත් ඔවුන් ක්‍රිකට් ආයතනය තුළ දරන තනතුරු ඊට ඇතුළත් කර නොමැති අතර බහුතරයක් ව්‍යාපාරිකයන් ලෙස (සාමාජිකයන් 09 දෙනෙකු) හඳුන්වාදී ඊට අත්සන් කර තිබේ. මෙහිදී ඔවුන් ක්‍රිකට් ආයතනයේ දරන තනතුරුවලින් ඊට අත්සන් කළේනම් ක්‍රීඩා අමාත්‍යවරයාට අනුව එය යම්තාක් දුරකට හෝ නිවැරදි වනු ඇත.
එසේම ක්‍රිකට් ඒඩ් වැඩසටහන පෞද්ගලික සමාගමක් හෝ වෙනයම් සමාගමක් බවට පත්කළේ ඇයිද යන ගැටලුව පැනනැගී තිබේ. ක්‍රිකට් ආයතනයේ පුණ්‍ය කටයුතු, ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් සිදු නොකර අදාළ ක්‍රිකට් ඒඩ් (ගරන්ටි) සමාගමේ සාමාජිකයන් 10 දෙනා යාවජීව (Life member) සාමාජිකයන් ලෙස නම් කිරීම කොතරම් සදාචාරාත්මකද යන්න මෙහිදී පැනනගින තවත් බරපතළ ගැටලුවකි. මින් සිදුවනුයේ අදාළ විධායක කමිටු සාමාජිකයන් ක්‍රිකට් ආයතනයෙන් ඉවත්ව ගියත් ක්‍රිකට් ඒඩ් ඔවුන් සතු වත්කමක් ලෙස අර්ථ ගැන්වීමයි.
එමෙන්ම එය හිතාමතා කළ වැරැද්දක් වනුයේ ඔවුන් ක්‍රිකට් ආයතනය තුළ දරන තනතුරු ඊට ඇතුළත් නොකර ව්‍යාපාරිකයන් ලෙස හැඳින්වීම තුළයි. කෙසේ වෙතත් මීට ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා අත්සන් තබා ඇත්තේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී යන තනතුරට අදාළවය. මෙහිදී ක්‍රිකට් බලධාරීන් සිදුකර ඇත්තේ ක්‍රිකඩ් ඒඩ් වැඩසටහන ඔවුන්ගේ පෞද්ගලික බූදලයක් කරගැනීමදැයි විවිධ පිරිස් ප්‍රශ්න කරති.
කෙසේ වෙතත් අපි මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් විමසීමක් සිදුකළ අතර හෙතෙම පවසා සිටියේ, කිසිවිටෙකත් එවැනි දෙයකට තමන් එකඟ නොවන බවයි. "ඒක වැරදි වැඩක්, ඒක අපි නිවැරදි කරන්න කිවුවා. මං හිතන්නේ මේ වනවිට එය නිවැරදි කරලා ඇති. මම උපදෙස් දුන්නා මෙය නිවැරදි කරලා අපිට එවන්න කියලා. සාමාජිකයන්ට යාවජීව සාමාජිකත්වය ලබාදීමට අපි එකඟවෙන්නේ නැහැ." යනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් ඒ පිළිබඳව පවසා සිටියේය.
කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනය මෙවැනි වැඩවලින් පෙන්නුම් කරනුයේ ඔවුන්ගේ නොහැකියාව හා නෛතික රාමුවලින් එළියට ගොස් ඔවුනට කටයුතු කළ හැකිය යන මතයයි. එනිසා මෙය ඔස්ට්‍රේලියානු සංචාරයට පෙර පැවැති එංගලන්ත සංචාරයේදී හදිසියේ කිරීමට ගොස් 'පොට වරද්දාගත්' තවත් එක් ක්‍රිකට් අවුලක් ලෙස හැඳින්විය හැකිය. විශේෂයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අරමුදලෙන් රුපියල් මිලියන 02ක ණයක් ගෙන මෙම වැඩසටහන ආරම්භ කළද එංගලන්ත සංචාරය අතරතුරදී එම අරමුදලට බැරවී ඇත්තේ රුපියල් 41,610.29 ක මුදලක් පමණි. එය මෙම වසරේ ජූනි මස 14 වැනි දිනට එකතු වූ මුදල පමණි.
මේ සියලු කරුණු පිළිබඳව අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන්ද සිල්වා මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු පවසා සිටියේ, "ඔය ප්රශ්නය අපි ඇමතිතුමා සමගත් කතා කළා. අපිට උපදෙස් ලැබුණා එහි යම්යම් කාරණා වෙනස් කිරීමට. කලින් ලියාපදිංචියේ යම් ප්‍රශ්නයක් තිබුණා. ඒ කියන්නේ අපි මේක හදිසියේ කරන්න ගිහින් යාවජීව (Lifetime Members) සාමාජිකයන් ලෙස නම් කිරීමෙන් තමයි ඔය ප්රශ්නය මතුවුණේ. මේක කෝප් කමිටුවේදීත් සාකච්ඡා වුණා. මෙතැන පොඩි නීතිමය ගැටලුවක් තිබෙනවා. අපිට ඒ අවස්ථාවේ මේක කල්පනා වුණේ නැහැ. ඇත්තටම මමත් පිළිගන්නවා යාවජීව සාමාජිකයන් කිරීම හරි නැහැ.
එය වැරදියි. අපි පරිපාලනයෙන් ඉවත්වන විට ඊළඟට එන පාරිපාලකයන් මෙය පවත්වාගෙන යා යුතුයි. ඒක නිරාකරණය කරන්න මේ වනවිට අපි කටයුතු කරගෙන යනවා. අපි අදාළ වෙනස්කිරීම් සමග නව ලියවිල්ලක් සම්පාදනය කරගෙන යනවා. ක්‍රිකට් ආයතනයේ නීතිඥයන් සමග සාකච්ඡා කරලා එම වැරැද්ද අපි නිවැරදි කරනවා. එනිසාම ඒ ගිණුමේ සතයක්වත් අපි ගත්තෙ නැහැ. දැම්මෙත් නැහැ. ඒ ගිණුම එහෙමම තියෙනවා. අපේ සභාපතිතුමාත් (තිලංග සුමතිපාල) මේකට විරුද්ධ වුණා, වැරදි වැඩක් කරලා තියෙන්නේ කියලා. අනිවාර්යෙන්ම අපි මෙය ඉදිරියේදී නිවැරදි කරනවා"යනුවෙනි.
ක්‍රිකට් ආයතනය මෙමගින් සිදුකර ඇත්තේ කිරි කළයට ගොම බින්දුවක් දැමීම වැනි ක්‍රියාවකි. සද්භාවයෙන් සිදුකළ 'ක්‍රිකට් ඒඩ්' වැඩසටහන මින් ඉදිරියටත් ක්‍රියාත්මක විය යුතුය. එහෙත් ඒ මෙවැනි අමනෝඥ ක්‍රියාවලින් තොරවය. එනිසා බලතණ්හාව හා මුල්‍ය ආශාවන් පසෙකලා යාවජීව, සාමාජිකත්වය ඉවත්කරමින් ක්‍රිකට් ඒඩ් වැඩසටහන ක්‍රියාත්මක වන්නේ නම් එහි අභිලාෂ හා අරමුණු සඵල කරගත හැකිවන්නේ එවිට යැයි ක්‍රිකට් ආයතනයේ බලධාරීන්ට මතක් කරදීමට කැමැත්තෙමු.