ක්‍රිකට් පාලක මණ්ඩලයට ස්ථිර නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම තවදුරටත් කල් ගියහොත් ඉදිරි මාසයෙන් පසු සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි වන බවත්, මේ වනවිටත් ක්‍රිකට් ආයතනයට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබීමට තිබූ රුපියල් ලක්ෂ හත්දහසක් අහිමි වී තිබෙන බවත් ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකුද වන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීතිවලට අනුව අතුරු පාලක කමිටුවක් පත්කළ නොහැකි බවත්, එහෙත් වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා අතුරුපාලක කමිටුවක් පත්කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
අතුරුපාලක කමිටුව තවදුරටත් පවත්වා ගෙන ගියහොත් ජූලි 15 වැනිදායින් පසුව පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මහා සභා රැස්වීමට සහභාගී වීමටද ශ්‍රී ලංකව අවස්ථාවක් නොලැබෙන බවද ඔහු සඳහන් කළේය.
මේ නිසා ක්‍රිකට් ආයතනය තවදුරටත් අර්බුදයට ලක්නොකර නිලවරණයක් පවත්වන ලෙසත්, එසේ නොමැති වුවහොත් ඉදිරියේදී ක්‍රිකට් ආයතනයට බරපතළ ගැටලු ගණනාවකට මුහුණදීමට සිදුවන බවත් හෙතෙම පවසා සිටියේය.
ඊයේ (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ හිටපු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ නිලවරණවලට ඉදිරිපත් වීමේදී 2013 වසරේ සිට ඉදිරියට බලපැවැත්වෙන ආකාරයට සකස් කළ නීතිරීති අතීතයටත් බලපාන බව සඳහන් කරමින් ක්‍රිකට් පරිපාලනය පිළිබඳ දැනුම තිබෙන පිරිස් පාලක මණ්ඩලයට ඇතුළුවීම වැළැක්වීමට උත්සාහ කරන බවයි.
එහෙත් 2013 වසරේදී නීති සකස් කළේ ඉදිරියේදී සභාපති, ලේකම් තනතුරුවලට පත්වන අය වසර 04ක් සේවය කළ පසු නැවත ඉදිරිපත් වීමට නොහැකි වන ආකාරයට බවද තිලංග සුමතිපාල මහතා පවසා සිටියේය.