කන්ද උඩරටට නැවියන්ගෙන් ප්‍රහාරයක්
ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත මහනුවර කණ්ඩායමේ අභිමානය යළිත් වරක් පහළට ඇද දමමින් වැලිසර නාවික හමුදා පිටියේදී පැවැති තරගයෙන් මහනුවර ක්‍රීඩා සමාජය පරදා ලකුණු 37-32ක් ලෙස ජය ලැබීමට නාවික හමුදා කණ්ඩායම සමත්විය.
පෙරේදා (04දා) පැවැති මෙම තරගයේ ලකුණු ලබාගැනීම මහනුවර කණ්ඩායම විසින් ආරම්භ කළද, ඉන් අනතුරුව ඔවුන්ට දැඩි අභියෝගයක් එල්ල කළ නාවික හමුදා කණ්ඩායම ලකුණු 24ක් වාර්තා කිරීමට සමත්වූහ. කෙසේ නමුත් කවදත් සුපුරුදු ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසය, ක්‍රියාත්මක කළ මහනුවර ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසනදී තවත් ලකුණු 17ක් වාර්තා කරමින් ලකුණු 24-22ක් ලෙස සිය ලකුණු පරතරය අවම කර ගැනීමට සමත්වූහ.
නමුත් දෙවැනි අර්ධය, පළමු අර්ධයටත් වඩා තියුණු ස්වභාවයක් ගත් අතර, විටෙක නාවික හමුදාවටත්, විටෙක මහනුවරටත් තරගය දෝලනය වන ආකාරයක් දක්නට ලැබිණි. මෙහිදී අවසන් මිනිත්තු කිහිපයේදී නාවික හමුදාව වාර්තා කළ උත්සාහක දිනුමත් සමගින්, තරගයේ ලකුණු සංඛ්‍යාව 37-32ක් දක්වා ඉදිරියට පැමිණි අතර, එය අභිභවා යෑමට මහනුවර ක්‍රීඩකයන් කොතරම් උත්සාහ කළද සාර්ථක නොවීය.
ජයග්‍රාහී නාවික හමුදා ක්‍රීඩකයෝ ගෝල දිනුම් 04ක් හා දඬුවම් පහර 03ක් මගින්ද, මහනුවර කණ්ඩායම ගෝල දිනුම් 03ක්, උත්සාහක දිනුමක් හා දඬුවම් පහර 02ක් මගින්ද සිය ලකුණු රැස්කළහ.
හැව්ලොක්ස් 37-26 යුද හමුදා
හැව්ලොක්ස් කණ්ඩායම තරගාවලියේ සිය අපරාජිකත්වය තවදුරටත් රැකගැනීමට සමත්වූයේ, යුද හමුදාව පරදා ලකුණු 37-26ක් ලෙස ජය හිමිකර ගනිමිනි.
කොළඹ හැව්ලොක්ස් පිටියේදී ඊයේ (05දා) පැවැති මෙම තරගය පළමු අර්ධයේ පටන්ම ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර, පළමුව ලකුණු රැස්කිරීම හැව්ලොක්ස් විසින් සිදුකළද, යුද හමුදාවේ දැඩි ප්‍රහාරයට ලක්වීමට ඉන් පසු හැව්ලොක්ස් ක්‍රීඩකයන්ට සිදුවිය. කෙසේ නමුත් එම අර්ධය අවසනදී තත්ත්වය තරමක් දුරට පාලනය කළ හැව්ලොක්ස් ක්‍රීඩකයෝ ලකුණු 20-18ක් ලෙස එම අර්ධය පෙරමුණ ගත්හ.
දෙවැනි අර්ධයේදීද, පළමු උත්සාහක දිනුමක් වාර්තා කරමින් යුද හමුදාව තරගයේ පෙරමුණ ගත්තද, සිය මවු ක්‍රීඩාංගණය තුළදී සුපුරුදු ක්‍රීඩා විලාසයට නැවතත් අවතීර්ණ වූ හැව්ලොක්ස් ක්‍රීඩකයෝ නොකඩවා ලකුණු රැස්කරමින් තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට සමත්වූහ.
ගෝල දිනුම් 03ක්, උත්සාහක දිනුම් 02ක් හා දඬුවම් පහර 02ක් මගින් හැව්ලොක්ස් ක්‍රීඩකයන් සිය ලකුණු රැස්කරද්දී, යුද හමුදාව ගෝල දිනුමක්, උත්සාහක දිනුම් 02ක් හා දඬුවම් පහර 03ක් ආධාරයෙන් ලකුණු රැස් කළේය.
ඡායාරූප - නිසල් බඳුගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.














