සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (07දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇරඹේ. දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියේදී පසුබෑමකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට, කණ්ඩායමක් ලෙස නැවත නැගීසිටීමට මෙය හොඳම අවස්ථාවකි.
බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන්නේ 2013 වසරෙන් පසුවය. අවසන් වරට පැවැති එම තරගාවලිය, තරග 1-0ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එහි ගාල්ලේ පැවැති තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. එම තරගයේදී දෙපිළේම පිතිකරුවන්ගෙන් වැඩි දක්ෂතා දැකගැනීමට හැකිවූ අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු ඉණිමේදී කුමාර් සංගක්කාර, ළහිරු තිරිමාන්න සහ දිනේෂ් චන්දිමාල් ශතක රැස්කරමින් වැඩි දස්කම් දැක්වූහ.
කෙසේ නමුත් මේ වනවිට යම් පසුබෑමකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල්ට ගාල්ල පිටිය වාසනාව රැඳි පිටියක් හෙයින් අදින් ආරම්භ වන තරගයේදී ලකුණු අතරට පිවිසෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. විශේෂයෙන් බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති පුහුණු තරගයේදීද ලකුණු අතරට පැමිණි චන්දිමාල්, මේ වනවිට සිය විශ්වාසය ගොඩනගා ගෙන ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.
චන්දිමාල් අංක 04 ස්ථානයේ පන්දුවට පහර දෙන බව ඊයේ (06දා) පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක රංගන හේරත් සඳහන් කර සිටියේය. මෙය චන්දිමාල්ට ලැබෙන කදිම අවස්ථාවකි. අංක 04 ස්ථානය චන්දිමාල්ට උචිතම ස්ථානය යැයි කලක සිට අපි සඳහන් කරන්නෙමු. එහෙයින් චන්දිමාල් ඉන් ප්‍රයෝජනයක් ගන්නේ දැයි අපි බලා සිටින්නෙමු.
කලකට පසුව උපුල් තරංගට ටෙස්ට් තරගබිමේද ආරම්භක පිතිකරුගේ ස්ථානයේ හිමිවන බව හේරත් ඊයේ සඳහන් කර සිටියේය. එය මීට පෙර සිදුවිය යුතුව තිබූ දෙයකි. පමාවී හෝ උපුල්ට ආරම්භක පිතිකරුගේ භූමිකාව රඟදැක්වීමට ලැබීම අගය කළ යුතුය. ඉන් උපරිම ප්‍රයෝජනයක් ගැනීම ඔහුගේ වගකීමය.
මෙවර තරගාවලියට එක්ව සිටින බංග්ලාදේශ කණ්ඩායමේ අවසන් වරට මෙහි සංචාරය කළ කණ්ඩායමේ සිටි ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ඇතුළත්ව සිටීම ඔවුන්ට හිතකර තත්ත්වයක් ගෙන දෙන්නකි.
විශේෂයෙන්ම නායක මුෂ්ෆිකර් රහීම් ගැන වැඩි අවධානයක් යොමුකළ යුතුය. ඔහු 2013 ගාල්ලේ පැවැති තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කළේය. එය බංග්ලාදේශ පිතිකරුවෙකු රැස්කළ පළමු ද්විත්ව ශතකයද විය. එහෙයින් රහීම් ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනයක් එල්ල කළ හැකි පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටින්නේය. ඔහුට අමතරව තමින් ඉක්බාල්, මහමුදුල්ලා, ශකිබ් අල් හසන්, මොමිනුල් හක් ශ්‍රී ලංකාවට පීඩනයක් එල්ල කළ හැකි පිතිකරුවෝය.
එමෙන්ම වේගපන්දු යවන මුස්තාෆිසූර් රහ්මන් ශ්‍රී ලංකාවට පීඩනයක් එල්ල කළ හැකි පන්දු යවන්නාය. බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් දිගින් දිගටම පන්දුවෙන් දස්කම් දක්වමින් සිටින පන්දු යවන්නා ඔහුය. කෙසේ වෙතත් මුස්තාෆිසූර් කණ්ඩායම සමගින් එක්වන්නේ අබාධයක් හේතුවෙන් විවේක ගැනීමෙන් පසුවය. එබැවින් ඔහුගේ රිද්මයේ යම් පසුබෑමක් ඇතැයි විශ්වාස කළ හැකිය. නමුත් ඔහු සාර්ථක වුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට ගැටලුවකි. තවද ශකීබ් අල් හසන්ද කණ්ඩායමේ සිටින බැවින්, එයද ශ්‍රී ලංකාවට අහිතකර තත්ත්වයකි.
2013 තරගාවලියට සාපේක්ෂව මෙවර තරගාවලියේදී චන්දික හතුරුසිංහගේ සහ තිලාන් සමරවීරගේ ගුරුහරුකම් ලැබෙන හෙයින්, බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම මෙවර තරගාවලියේදී යම් ප්‍රමාණයකට ඉදිරියට පැමිණ ඇතැයි විශ්වාස කළ හැකිය. බංග්ලාදේශ නායක මුෂ්ෆිකර් රහීම් එක්වූ පළමු මාධ්‍ය හමුවේදීද එවැනි අදහසක් දක්වා සිටියේය. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කෙසේ මුහුණ දෙන්නේ දැයි අපි බලා සිටිමු.